සිංහල බෞද්ධ ජාතිවාදයේ උභතෝකෝටිකය

female Buddhist monk
Share this on Social Media

හර්ෂ ගුණසේන

බුදු සමයෙන් හික්මවනු ලැබූ මෙරට සිංහල බෞද්ධයෝ වාර්ගික සම්බන්ධතා විෂයෙහි ලා සියවස් ගණනාවක් මුළුල්ලේ විවෘත ප්‍රතිපත්තියක් අනුගමනය කළහ. මෙකල ජාතික නායකත්වය සඳහා ජන වර්ගය, ආගම සහ කුලයද සාධක ලෙස සැලකෙන නමුත් ඉතිහාසයේ ජනතා අනුමැතිය සහිතව රාජ්‍යය කළ විවිධ ජනවර්ගයන්ට අයත් නරපතියෝ සිටියහ. බලයෙන් රාජ්‍යය අත්පත් කරගත් ආක්‍රමණිකයන් ද මෙරට රජ කල නමුත් ඔවුහු ආක්‍රමණිකයෝ නොවූහ. පොළොන්නරු යුගයේ වර්ෂ 1187 සිට 1196 දක්වා නව වසරක් රාජ්‍යය විචාල නිශ්ශංක මල්ල එවැන්නෙකි. හෙතෙම සිංහලයකු නොවේ, මෙරට වැසියකු ද නොවේ. සියවස් ගණනාවක් මුළුල්ලේ පැවති මෙම ඉවසිලි සහගත ආකල්පය වඩාත් ළංවන්නේ වර්තමාන දියුණු ප්‍රජාතන්ත්‍රවාදී ආකල්පවලටයි. ඉන්දියානු රාජ්‍ය නායකයෝ විවිධ ජනවර්ගවලටද ආගම්වලටද කුලවලටද අයත් වෙති. පොළොන්නරු යුගයේ සහ ඉන් පසුව ව්‍යවහාර බුදු දහම හින්දු ආගම සමග මිශ්‍ර විය. අද තත්ත්වයද එසේමයි. සියවස් දහයක පමණ කාලයක් මුස්ලිම් ජනතාව මෙරට වැසියන් සහ රජවරුන් සමග සහයෝගයෙන් කටයුතු කළහ. පන්සල් බිම්වල මුස්ලිම් පල්ලි ඉදි කෙරුන අවස්ථා තිබුණ අතර දළදා මාලිගාව ඇතුළු විවිධ පන්සල්වල ඔවුහු රාජකාරිය කළහ. ඕලන්ද පාලන සමයේ රෝමානු කතෝලිකයන්ට ආරක්ෂාව සපයන ලද්දේ මෙරට රජවරු සහ සිංහල බෞද්ධයන් විසිනි.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති තුමා අධ්‍යාපනය ලද කොළඹ ආනන්ද මහා විද්‍යාලය ආරම්භ වූයේ ජනවර්ගයට නොව ආගමට මුල් තැන දෙන බෞද්ධ ඉංග්‍රීසි පාඨශාලාවක් වශයෙනි. එය ආරම්භ වූයේ රාජ්‍යය විසින් බුද්ධාගමට එරෙහිව කරන ලද මර්දනයට විරුද්ධවයි. එකල ආනන්දයේ බොහෝ දෙමළ මෙන්ම මුස්ලිම් ගුරුවරු සිටියහ. ආනන්දයේ ආරම්භකයන්ගේ මෙන්ම එහි ශ්‍රේෂ්ඨ විදුහල්පතිවරයකු වූ පී. ද එස්. කුලරත්නගේ ද දැක්ම වෙනත් ආගම්වලට විරුද්ධ වූවක් නොව රාජ්‍යය විසින් බුදු දහමට එල්ල කළ පීඩනයට එරෙහි වූවකි. එවකට ආනන්දයේ ගුරුවරයකු වූ ටී. බී. ජයාට සහිරා විදුහලේ විදුහල්පති කම භාරගැනීමට අනුබල දුන් කුලරත්න ආනන්දයේ ගුරුවරුන් පිරිසක් ද සහිරා විදුහලට යැවීය. මෙය කුලරත්නගේ ද ආනන්දයේ ද දැක්මට සපුරා අනුගත වෙයි. වාර්ගිකත්වය ආනන්දයට පැමිණියේ එල්. එච්. මෙත්තානන්දගේ යුගයේදීය. ගෝඨාභය රාජපක්ෂ එහි අධ්‍යාපනය ලබන යුගය වන විට ආනන්දය හුදු සිංහල බෞද්ධ පාසලක් බවට පත්වී තිබුණි. එම පරිවර්තනය රාජ්‍යය විසින් බුදු දහම මර්දනයට එරෙහිව ආනන්දය විසින් සිදු කළ ශ්‍රේෂ්ඨ වූ ද පුරෝගාමී වූ ද මෙහෙවර අනුව යාමක් නොවේ.

මෙම ජාතිවාදී රැල්ල හෙවත් නව මානසික තත්ත්වගතකරණය ආරම්භ වූයේ දහනව වැනි සියවසේ අගභාගයේ ආරම්භ කරන ලද බෞද්ධ පුනර්ජීවන ව්‍යාපාරයත් සමගයි. බෞද්ධ පුනර්ජීවන ව්‍යාපාරය ආරම්භ වූයේ බුද්ධාගම ට විරුද්ධ වූ රාජ්‍ය වැඩපිළිවෙලට එරෙහිවයි. එනමුත් මෙය මහජනයා අතරට ගෙන යාමේදී සිංහල බෞද්ධයන් අතර වෙනත් ජාතීන්ට ද ආගමිකයන්ට ද එරෙහි හැඟීමක් ඇතිවිය. කුලරත්න වැනි ඉදිරි දැක්මක් ඇති විදුහල්පතිවරු ආනන්දය තුළ මෙම තත්ත්වය කළමනාකරණය කරගත්තත් අපේ ජාතික නායකයන්ට එසේ කිරීමට නොහැකි විය. පසුව පැමිණි දේශපාලන නායකයන් විසින් මෙම මානසික තත්ත්වගතකරණය සිය බලය ස්ථාපිත කිරීම සඳහා පාවිච්චි කරන ලදී. මේ තත්ත්වයට ප්‍රතික්‍රියා ලෙස දෙමළ සහ මුස්ලිම් ජනයා ද සිංහලයන් ට එරෙහිව මානසික තත්ත්වගතකරණයකට භාජනයවී සිටිති.

ගෝඨාභය රාජපක්ෂගේ ජනාධිපතිවරණ ප්‍රචාරය සංවිධානය කරන ලද්දේ සිංහල බෞද්ධ ඡන්ද ඉලක්ක කර ගෙනය. එය ඔවුන් පරාජය වූ 2015 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ පිලේද ඉලක්කය විය. මෙම අවස්ථාවේදී ගෝඨාභය රාජපක්ෂ ඉලක්කය ජය ගත් අතර ජනාධිපති ලෙස කරන ලද සිය ප්‍රථම කථාවේදී ඔහු එය අවධාරණය කළේය. ඔහුගේ පූර්වගාමීන් මෙන් නොව ඔහු සුළු ජාතික අයිතිවාසිකම් සම්පුර්ණයෙන්ම නොතකා හරියි. ජාතිය සහ ආගම දේශපාලන වේදිකාවට රැගෙන ආවේ එස්. ඩබ්. ආර්. ඩි. බණ්ඩාරනායක විසිනි. යුක්තිය සහ සාධාරණත්වය කුමක්දැයි දැන සිටි ඔහු, බණ්ඩාරනායක-චෙල්වනායගම් ගිවිසුමට අත්සන් කළේය. ඒ වෙනුවෙන් පෙනී සිටීමට පිට කොන්දක් ඔහුට නොතිබිණි. ගෝඨාභය රාජපක්ෂට ඔහු ගේ ජනාධිපතිවරණ ප්‍රචාරය හුදු අලංකාරෝක්තියක් නොවේ. මේ අනුව ඔහු සිය සොහොයුරා ද ඇතුළු පූර්වගාමීන් මෙන් නොව අවංක පුද්ගලයෙකි. වඩාත් විය හැකි හේතුව වන්නේ දිනෙන් දින පහළ යන ජනප්‍රියත්වය හමුවේ දිනන සූත්‍රය දිගටම අල්ලා ගෙන සිටීමයි. එනමුත් එය පරදින සූත්‍රයක් බවට හැරෙමින් තිබේ.

ගෝඨාභය රාජපක්ෂගේ ජනාධිපතිවරණ ව්‍යාපාරයේ ප්‍රධාන කරුණක් වූ ජාතිවාදය විනාශකාරී ලෙස හැසිරෙමින් තිබේ. උදාහරණයක් ලෙස කොවිඩ්-19 න් ආසාදිත වූ මුස්ලිම් ජාතිකයන්ගේ මළ සිරුරු ආදාහනය දැක්විය හැක. විදේශ අමාත්‍යංශය හෝ කැබිනට් මණ්ඩලය හෝ ශ්‍රී ලංකාව විසින් මෙම මළ සිරුරු මාලදිවයිනේ භූමදානය කිරීමට අවසර ඉල්ලීම පිළිබඳව දැන සිටියේ නැත. එබැවින් එය ජනාධිපතිතුමාගේ ක්‍රියාවකි. මේ පිළිබඳව දැන ගත් විට මම ලජ්ජාවට පත් වුනෙමි. මක්නිසාද යත් ඔහු අපේ රටේ ජනාධිපතිවරයා නිසාය. එවැනි ඉල්ලීමක් කිරීමට කුමන මානසික තත්ත්වයක් තිබිය යුතුද? අපේ ජනාධිපතිතුමාගේ සහ නවසීලන්ත අගමැතිතුමියගේ ක්‍රියාකලාපයන් සැසඳීමෙන් මානුෂික ගුණාංග සම්බන්ධයෙන් ඔවුන් අතර ඇති පරතරය අවබෝධ වේ.

මෙම මළ සිරුරු භූමදානය කල හැකි බවට අදාල විෂය ක්ෂේත්‍රයේ බොහෝ වෛද්‍ය විශේෂඥයන් අදහස් දක්වා තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානය භූමදානය අනුමත කරමින් නිර්ණායක නිකුත් කර ඇත. මානව හිමිකම් නිර්ණයක භූමදානයට සහයෝගය දක්වයි. මා මළ පසු මගේ සිරුර ආදාහනය නොකර භූමදානය කළ යුතු යයි මම නොසිතමි. එනමුත් යමකු ඔහුගේ හෝ ඇයගේ හෝ සිරුර භූමදානය කළ යුතු යයි සිතන්නේ නම් මම මුළු හදවතින් ම එයට සහයෝගය දෙමි. ජාතිවාදී මතවාදය තුළ අනෙකාගේ අදහස්වලට සහ එම අදහස් දැරීමට අනෙකාට ඇති අයිතිය පිළිගන්නා සරල ප්‍රජාතන්ත්‍රවාදයට ඉඩක් නැත. ජාතිවාදී මතවාදය හමුදා මතවාදය සමග බද්ධ වූ විට තත්ත්වය තවත් භයංකර වේ. ඔවුන් සියලු දෙනාම වෛරසය මළ සිරුරු මගින් පැතිරීමේ අවදානම ගැන සංවේදී වන අතර ජිවත්වන සිරුරු මගින් වෛරසය පැතිරීම පාලනයේ තිබෙන බරපතල දුර්වලතා නොදකිති. එබැවින් ඔවුන් සංවේදී වන්නේ සත්‍ය වශයෙන්ම වෛරසය පැතිරීම පිළිබඳව නොවේ. ඔවුන්ට අවශ්‍ය වන්නේ මළ සිරුරු ආදාහනය නොකර භූමදානය කළ යුතු යයි වන විශ්වාසයට අභියෝග කිරීමයි. එනමුත් යම් හෙයකින් විද්‍යාව මෙම අසාදිත මළල සිරුරු භූමදානය නොකර ආදාහනය කළල යුතු යයි කියන්නේ නම් ආගමික විශ්වාස පසෙක තබා අප සියලු දෙනාම එයට එකඟ විය යුතුය.

දේශවාත්සල්‍යය හෝ ජාතිකවාදය හෝ යනු ජාතිවාදය නොවන බව මෙරට වැසියන් වටහා ගත යුතුය. මිනිසුන්ට ඔවුන්ගේ වාර්ගික අනන්‍යතා තිබේ. ඒවා මකා දැමිය නොහැක. නමුත් ජාතිකත්වය එයට වඩා පළල්ය. මානුෂිකත්වය ඒ සියල්ලටම වඩා පළල්ය. අද ලෝකයේ සමහර නායකයෝ ජාතිකත්වයද අතික්‍රමණය කරන දෘෂ්ටියක් සහිත වෙති. ගෝඨාභය රාජපක්ෂ සහ ඔහුගේ ඉන්දීය සගයා පටු ජාතිවාදීහු වෙති.

මහත්මා ගාන්ධි විසින් බොහෝ මහන්සියෙන් නිර්මාණය කරන ලද අනාගමික රාජ්‍යය නරේන්ද්‍ර මෝඩි විසින් කඩා බිඳ දමමින් තිබේ. ඔහුගේ උත්සාහය හින්දුත්ව ව්‍යාපාරයේ ආදී කර්තෘ විනයාක් සවර්කාර් ගත් මග යාමටයි. ජින්නා ගේ පාකිස්ථානය පසුව මිලිටරි නායකයන් විසින් ආගමීකරණය කිරීමේ ප්‍රතිඵල අද පාකිස්ථානය භුක්ති විඳියි. එමෙන්ම නරේන්ද්‍ර මෝඩි ගේ කෙටි කාලීන දේශපාලන ව්‍යාපාරයේ ප්‍රතිඵල ඊළඟ පරම්පරාව විසින් භුක්ති විඳිනු ඇත. ඩොනල්ඩ් ට්‍රම්ප් ද ශත වර්ෂ ගණනාවක් තිස්සේ පරිණාමය වූ ඇමෙරිකානු ලිබරල් මුලධර්ම වලට එරෙහිව මෙවැනි ක්‍රියාමාර්ගයක් ගත් නමුත් ඔහුගේ කාලය ජනතාව විසින් සීමා කරන ලදී. ශ්‍රී ලංකාව දුර්වල තත්ත්වයක සිටින බැවින් මෙවැනි මාර්ගයක යා නොහැක.

ලංකාවේ ආර්ථිකය තිබෙන්නේ ඉතා දුර්වල තත්ත්වයකය. එයට හේතුව දීර්ඝ කාලයක් තිස්සේ පැවති ආණ්ඩුවල නරක මුල්‍ය කළමණාකරණය සහ දුෂණයයි. වසංගතය මෙයට උත්තේජනයක් වී තිබේ. ලංකාව වැනි රටකට අත්‍යවශ්‍ය වන්නේ රාජ්‍ය මූල්‍ය ස්ථාවරත්වයයි. පසුගිය රනිල් වික්‍රමසිංහ රජය විසින් තමන්ගේ සාක්කු ගැන පමණක් කල්පනා කරන පෞද්ගලික අංශයේ විරෝධය මැද මෙයට මුල පුරන ලදී. මෙම ආණ්ඩුව විසින් එය ආපසු හරවන ලද අතර ඔවුන්ගේ හදිසිය කෙතෙක් ද යත් බද්දක් නොවන, බද්දක පුර්ව ගෙවීමක් වන සේවකයන්ගේ උපයන විට ගෙවීමද නතර කරන ලදී. පෞද්ගලික අංශය මේ ගැන වචනයක් කථා නොකළේය. රාජ්‍ය විදේශ ණයවල පොලී අනුපාතය ඉහල නංවන සේ සිදුකරන ලද ශ්‍රේණිගත කිරීමේ ආයතන මගින් මෙරට ශ්‍රේණිය පහත දැමීමේ ක්‍රියාව අඩපණ කිරීමේ හැකියාවක් රාජ්‍ය මුල්‍ය ස්ථාවරත්වය මගින් සිදු කළ හැකිව තිබුණි.

පළාත් සභා අකර්මන්‍ය කරන ලද නව ව්‍යවස්ථාවක් අපට නුදුරේදී දැක ගත හැකි වනු ඇත. මෙය සුළු ජන කොටස් මෙන්ම ඇමරිකාව සමග ස්ථිර ලෙස සම්බන්ධවී ඇති ඉන්දියාවද කුපිත කරවනු ඇත. ඇමෙරිකාවේ බයිඩන් පරිපාලනය යුරෝපා සංගමය සහ බ්‍රිතාන්‍යය ඇතුළු සිය මිතුරන් සමග ඉතා කිට්ටුවෙන් වැඩ කරනු ඇත. අපේ අපනයන වෙළෙඳපොළ ඇත්තේ එහිය. ජනාධිපති උපදේශකයන් විසින් ලංකාව ඔවුන් වඩාත් කැමැතිවන අධිකාරීවාදී සහ ජනතාවට වග නොකියන ආණ්ඩු ක්‍රමයක් සහිත චීනය දෙසට තල්ලු කරනු ඇත.

අභ්‍යන්තර සහ බාහිර සාධක එකට බැඳී පවතී. පෙනෙන අන්දමට රාජ්‍ය ප්‍රතිපත්ති මගින් රට සර්පිලයේ පහළට ඇදගෙන යයි. ආණ්ඩුවේ ද ජනාධිපතිවරයාගේ ද හැසිරීම විනාශකාරීය. ලංකාවේ රාජ්‍ය පරිපාලනය සම්බන්ධයෙන් භික්ෂූන්ගෙන් යැපුණු නායකයන් දෙදෙනකු සිටි බවත් ඔවුන් දෙදෙනාට ම සිය ජිවිත අහිමි වූ බවත් කුමාරතුංගයන්ගේ හෙළ හවුලේ නායකයකු වූ රැයිපියෙල් තෙන්නකෝන් වරෙක කියා ඇත. ඒ දෙදෙනා නම් සිරිසඟබෝ සහ බණ්ඩාරනායක ය. වර්තමානයේ ඝෝෂාකාරී හිස් දේශපාලන භික්ෂූන් (මොඝ පුරිසා) දේශපාලනය ද ධර්මය ද නොදනිති. හිටපු ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන හෙද සංගමයේ සභාපතිවූ මෙයින් එක් භික්ෂුවක් සමග සාකච්ඡාව සම්පුර්ණයෙන් ප්‍රතික්ෂේප කළේය.

වර්ෂ 2005 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ පැරදවූයේ වැඩි ඡන්ද 180,000 ක සුළු ප්‍රමාණයකිනි. වික්‍රමසිංහට දෙමළ ඡන්දවල වාසිය තිබුණ අතර ප්‍රභාකරන් විසින් ඔවුන්ට ඡන්දය දැමීම තහනම් කරන ලදී. එයින් රාජපක්ෂ ගේජය තහවුරු විය. ඔහුට යුද්ධය මගින් අර්බුදය අවසන් කිරීමේ සැලැස්මක් නොතිබුණි. මාවිල්ආරු සොරොව්ව වසා යුද්ධය ආරම්භ කරන ලද්දේ ප්‍රභාකරන් විසිනි. ඒ නයින් ප්‍රභාකරන් සිය අවසානය තෝරාගත්තේය.

සිංහල බෞද්ධ ජාතිවාදය ජනවාර්ගික අර්බුදයේ මූලයයි. ජනාධිපති ගෝඨාභය ලංකාව ජාතිවාදයේ උපරිමයට රැගෙන විත් තිබේ. ආණ්ඩුවේ සිටින ජාතිවාදී කොටස් සිය මතවාදය මගින් සාධාරණව සිතන මෙරට ජනතාවද විදේශ රාජ්‍යයන්ද විරුද්ධ කර ගනිමින් සිටිති. මෙයට පෙර පාර්ලිමේන්තුවේ 2/3 ක බලයක් තිබූ සියලුම පක්ෂ සිතුවාක් මෙන් තමන්ට අවශ්‍ය දෙයක් කළ හැකි යයි ඔවුහු සිතති. එබැවින් සිංහල බෞද්ධ ජාතිවාදය ජනාධිපති ගෝඨාභයට පාර්ලිමේන්තුවේ 2/3 ක බලයක් දීම මගින් සිය අවසානය තෝරාගෙන ඇත්දැයි ඉදිරියේදී දැකගත හැකි වනු ඇත.

සිය ඉදිරි මග වෙනස් කිරීමේ අවශ්‍යතාවයක් රටට තිබේ. රට බොහෝ කාලයක් පාලනය කර ඇත්තේ අවංක නොවන පාලකයන් විසිනි. ඔවුන්ට එරෙහිව රටේ කැරලි ඇතිවුන අතර ඔවුන්ද ජනතාවද ඒවායින් පාඩම් ඉගෙන ගෙන නැත. රට යන්නේ එම මගෙහිමය. නිදහසෙන් වසර 72 කට පසුවද සියල්ලන්ටම එකඟ විය හැකි ව්‍යවස්ථාවක් අපට නැත. සිය බලය පහළ සිට ඉහළට ඒකරාශී කරගෙන ඇති ජනාධිපතිවරයා නව ව්‍යවස්ථාව මගින් සිය බලය පර්යන්තයේ සිට මධ්‍යයට ඒකරාශී කරගනු ඇත. රටේ ආණ්ඩුක්‍රමයේ ද අධිකරණයේ ද රාජ්‍ය සේවයේද ඉක්මන් වෙනසක් අවශ්‍ය වී තිබේ. එබැවින් අප විසින් නව ව්‍යවස්ථාවක් සාදා ගැනීමේ ක්‍රියාවලිය පටන් ගෙන එය රට යන දිසාව වෙනස් කරන ජනතා ව්‍යාපාරයක් බවට පත් කළ යුතුය. මෙය දේශපාලනඥයන්ගේ ලබන වාරයේ බලය ලබාගැනීමේ කෙටි කාලීන අරමුණට විකල්පයකි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.