විපතට පත් ජනයා බේරාගන්න අහසින් වැටුණු සජිත්

Share this on Social Media

සී ජේ අමරතුංග

සමගි ජන බලවේගය පසුගිය දා වැඩ පෙන්නුවේය. ඒ අති විශාල ජනතාවක් කොළඹ නගරයට කැඳවා විරෝධතාවයක් පැවැත්වීමෙනි. එය සාර්ථක බව බොහෝ දෙනා කියති . ඒ ජන සහභාගීත්වය අතිනි. ඉතා දරුණු ලෙස පීඩාවට පත්ව සිටි ජනයාට සිය විරෝධතාවය දක්වන්නට අවස්ථාවක් ලැබී තිබිණි.

එසේ වුව ද, රැලියට සහභාගී වී සිටියේ සමගි ජන බලවේගයේ ම ආධාරකරුවන් බව පෙනෙන්නට තිබිණි. ඒ අනුව එයට පොදු මහජන විරෝධයක තත්ත්වයක් නො වූ බව පෙනෙන්නට තිබේ. මේ ආණ්ඩුවට විරෝධය දක්වන්නට ඉදිරිපත් වන තවත් බොහෝ පිරිසක් මේ රටේ සිටිති. ඔවුන් ගෙන්වන්නට හෝ ඔවුන්ට ආමන්ත්‍රණය කරන්නට හෝ මේ මොහොතේ සමගි ජන බලවේගය අසමත් වී ඇති බව පෙනෙන්නට තිබේ.

විරෝධතාවයට තිබුණේ එක ම තේමාවකි. එනම් ජනාධිපතිවරණයක් පවත්වන ලෙස බලකිරීමයි. ඒ හැර කිසිදු විසඳුමක් හෝ ඉල්ලීමක් හෝ මතු කරනු නොලැබී ය.

සජබ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පමණක් විරෝධතාකරුවන්ට කතා කළේය. ඔහු කීවේ ද එක ම දෙයකි. එනම් ජනාධිපතිවරණයක් පවත්වා තමා බලයට පත් කළ යුතු බව යි. එවිට දුක් විඳින ජනයාගේ සියලු ප්‍රශ්න ඔහු විසින් විසඳනු ඇත.

මේ මොහොතේ ජනාධිපතිවරණයක් ඉල්ලීම කෙතරම් ප්‍රයෝගික ද යන්න සජිත්ට අදාළ නැත. නිල වශයෙන් යලි ජනාධිපතිවරණයක් පැවැත්වෙන්නේ 2024 දී ය. ඉන් මෙහා බැරිය. මේ සටන්පාඨයට අනුව ජනතාවට සිදු වන්නේ 2024 දී සජිත් ජනාධිපති වන තෙක් දුක් විඳින්නට ය.

මේ මොහොතේ ගොටාභය රාජපක්ෂ මහතා ඉල්ලා අස් වුව ද , සිදුවන්නේ අගමැතිවරයා ජනාධිපති ලෙස දිව්රුම් දීමයි. ඉන්පසු ජනාධිපති පත් කිරීමේ බලය පාර්ලිමේන්තුවට හිමි වෙයි.

මේ තත්ත්වය වෙනස් කළ හැක්කේ ව්‍යවස්ථා සංශෝධනයකිනි. එය පහසු කටයුත්තක් නොවේ. අඩු තරමේ මාස ගණනාවක් ගතවෙයි. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් අවශ්‍යය. ගොටාභය ජනාධිපති ඉවත්කරන්නට තුනෙන් දෙකක් ම කැමතිවේ යැයි සිතුව ද ,ප්‍රතිඵලය ලෙස ඊළඟ ජනාධිපති වන්නට ඉඩ ඇත්තේ සජිත් කියා පෙනී ගියහොත් ඇතැම් විට සමගි ජන බලවේගයේ ඡන්ද ටික පවා සුවර් නැත. සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුව තුළ සහ තම පක්ෂය තුළ ගොඩ නගාගෙන තිබෙන්නේ එබඳු තත්ත්වයකි.

ජනාධිපතිවරණ සටන්පාඨය මේ මොහොතේ යථාර්ථවාදී සටන්පාඨයක් නොවන්නේ එහෙයිනි. මෙබඳු සටන්පාඨ ඉදිරිපත් කළ හැක්කේ අහසින් වැටුණු මිනිස්සුන්ට ය. නැතහොත් මිනිසුන්ගේ සියලු දුක් දඩ මීමා කරගෙන තමන්ගේ ගමන යන්නට හදන උදවියට ය.

අද රට මුහුණ දී තිබෙන්නේ හදිසි විසඳුම් අවශ්‍ය අර්බුදයකට ය. එම අර්බුදයට විසඳුම් ගැන සමාජ සංවාදයක් පසුගිය කාලයේ රට තුළ පැවතිණි. මහජනයා සිටින්නේ කල් අල්ලාගෙන ඉන්නට බැරි තරමේ දුක්ඛිත තත්ත්වයක ය. එම ප්‍රශ්න බොහොමයක් ආණ්ඩුවේ ම නිර්මාණ බව ද ඇත්තකි. එහෙත්, ඒවාට විසඳුම් සෙවීම දුෂ්කර සහ කල් ගතවන ක්‍රියාවලියක් බව සමාජ සංවේදී දේශපාලඥයන්ගේ මෙන් ම විද්වතුන්ගේ ද මතය වී තිබේ. දැන් බොහෝදෙනා කතා කරන්නේ ප්‍රශ්නයේ විසඳුම් ගැන ය. ඒ සඳහා ජාතික සම්මුතියක අවශ්‍යතාවය ගැන ය.

ජනතාවට ද අවශ්‍ය වන්නේ කඩිනම් විසඳුම් ය. ඇතැම් විසඳුම් ලබා ගත යුතු වන්නේ පවතින ආණ්ඩුවෙනි. ඉන් ඉදිරියට යාම සඳහා බොහෝ දෙනා කතා කරන්නේ ජාතික සම්මුතියක අවශ්‍යතාව ගැන ය.

එජාප නායක රනිල් හෝ සාධාරණ සමාජයක් ව්‍යාපාරයේ කරු ජයසුරිය හෝ වෙනත් දේශපානඥයන් හෝ මේ කතාව කී පමණින් එය ඔවුන්ගේ පමණක් අවශ්‍යතාවයක් වන්නේ නැත. බොහෝ විද්වතුන්, ව්‍යාපාරික ප්‍රජාව, සමාජ සංවිධාන මෙම අදහස ඉදිරිපත් කොට ඇත. ඒ ගැන කියා, ලියා ඇත. එසේ වන්නේ එය මේ මොහොතේ සමාජ අවශ්‍යතාවයක් වන නිසා ය.

රටේ පවතින එම සංවාදය ගැන සජිත්ට වගේ වගක් නැත. නැතහොත් ඒ සියල්ල ඔහුට පෙනේනේ ඩීල් දේශපාලනය වශයෙනි. ඔහුට අනුව මේ මොහොතේ තිබිය හැක්කේ එකම එක ඩීල් එකකි. එනම් තමා ජනාධිපති කිරීමේ ඩීල් එක ය.

සජිත්ට අනුව ජනතාවට ඇති එක ම විසඳුම තමන් ජනාධිපති කිරීම යි. එවිට රටේ සියලු ප්‍රශ්න විසඳීමට තමන්ට හැකි වෙයි. ජනතාව දැන් පෙළ ගැසී ඉදිරියට යා යුත්තේ ඒ සඳහා ය. දියසේන කුමරා චරිතයට මෙවර පන දෙන්නේ මේ සජිත් ප්‍රේමදාස ය.

මෙම තිත්ත වස ජනතාව දැන් කීප වරක් බී විඳවා ඇති බව සජිත් නොදනී. රටට විනයක් වී තිබෙන ජනාධිපති ක්‍රමය ඉවත් කරන්නට ජනතාව ප්‍රබල සටනක් කළ සහ කරන බව සජිත් නොදනී. මේ ආණ්ඩුව සමග ජනතාවට බේරා ගැනීමට ඇති එක් ගනුදෙනුවක් නම් උදුරාගත් ජනතා ජයග්‍රහණ ආපසු ලබා ගැනීමයි. අඩු තරමින් 20 සංශෝධනය අහෝසි කර 19 ට ආපසු යාමයි. හැකි නම් ඉන් ඉදිරියට යාම යි.

මෙරට ජනයා පත් කරගත් ජනාධිපතිවරුන් ගැන ජනතාවගේ අත්දැකීම් කවුරුත් නැවත මතක් කර ගැනීම සුදුසු ය. මෙරට පීඩිත ජනයා අතර ගෞරවයට ලක්ව සිටිය ද , සජිත්ගේ පියා , ආර් ප්‍රේමදාස ජනාධිපතිවරයා ඝාතනයට ලක් වූ මොහොතේ ජනතාවගේ හැසිරීම ද මතකයට නගා ගත්තාට වරදක් නැත. ඒ මහතා ඝාතනයට ලක් වූ ස්ථානයට මොන හන්දිය ද කියා නමක් වැටුණු බව ද, අමතක නොකළ යුතු ය. එම තත්ත්වයට ඒ මහතා පත්වුයේ විධායක ජනාධිපති ධුරයේ බලතල අතට ගෙන ක්‍රියාත්මක වීමට යාම නිසා ය.

යුද්ධය ජයගත් නායකයා ලෙස විශාල ජනප්‍රියතාවක් ගොඩ නගාගෙන සිටි මහින්ද රාජපක්ෂ මහතා පරාජය වුයේ ද ජනාධිපති බලය පරිහරණය කරන්නට යාම නිසා ය. සදා කල් බලයේ ඉන්නට ව්‍යවස්ථාව හදා ගෙන වැඩි කලක් යන්නට පෙර එතුමාට සිදු වුයේ ගෙදර යන්නට ය..

විශාල ජනතා විශ්වාසයක් දිනාගෙන බලයට පැමිණි ගොටාභය රාජපක්ෂ ජනාධිපතිතුමා සිය ධුර කාලයෙන් අඩක් ගෙවෙන්නට පෙර වැටී සිටින තත්ත්වය ද අමුතුවෙන් කිව යුතු නැත. සජිත්ගේ විරෝධතාවට එක වූ ජනයා අමු සිංහලෙන් කියා දුන්නේ එම කතාව යි.

සජිත් ප්‍රේමදාස මහතා අද දැන නොසිටිය ද ඔහු මේ ඉල්ලා සිටින්නේ එම කාලකන්නි තත්ත්වයට තමාව ද පත්  කරන ලෙසයි.

අපගේ ජනතාව යලිත් එබඳු විපතක් සිදුකර නොගනු ඇතැයි යන්න අපගේ විශ්වාසය යි.

යම් හෙයකින් අපට තවත් ජනාධිපතිවරයෙක් අවශ්‍ය වන්නේ නම් ඒ ජනාධිපති ක්‍රමය නැති කොට ගෙදර යන ජනාධිපතිවරයෙකි. මෙරට ජනතා සංවිධාන බොහොමයක් දැන් පෙළ ගැසෙන්නේ ඒ සඳහා ය.

පුදුමයකට මෙන් සජිත් ප්‍රේමදාස මහතා මෙම සමාජ සංවාදය ගැන කිසිවක් නොදනී. එතුමා අහසින් වැටී ඇතැයි සිතෙන්නේ එවිට ය.

එසේ නැත්නම් අසීමිත බලයට ඇති ආසාව නිසා සජිත් මේ සියල්ල නොතකා හරියි. ඇත්ත ඒක නම්, එය වඩාත් භයානක ය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.