දේශපාලන අවියක් ලෙස බොරු දේශප්‍රේමය සහ ජාතිවාදය

Rathana Thero - Gotabaya
Share this on Social Media

හර්ෂ ගුණසේන

ලෝකය පුරා ප්‍රජාතන්ත්‍රවාදී හෝ ඒකාධිපති හෝ දේශපාලන නායකයෝ පොදුජන විඥානය කෙරෙහි නිර්මාණාත්මක ලෙස සමාජය නගා සිටුවීම සඳහා හෝ විනාශකාරී ලෙස හෝ බලපෑම් කිරීමට උත්සාහ කරති. නෙල්සන් මැන්ඩෙලා පළමු වර්ගයට අයත් වන අතර හිට්ලර් දෙවන වර්ගයට අයත් වෙයි. මෙම බලපෑම් සමස්ත රටේ අභිවෘද්ධිය උදෙසා වේ දැයි ජනතාව සිහි කල්පනාවෙන් සිටිය යුතුය. පොදුජන විඥානය කෙරෙහි විනාශකාරී ලෙස බලපෑම් කිරීම සඳහා දේශපාලනඥයන් විසින් ශ්‍රී ලංකාවේ බොරු දේශප්‍රේමය සහ ජාතිවාදය භාවිතා කර ඇති අතර ඇමෙරිකාවේ ලිබරල් සාරධර්මවලට එරෙහිව සුදු ජාතිකත්වය භාවිතා කර ඇත.

ඇමෙරිකන් උදාහරණය

ජනාධිපති ජෝ බයිඩන් ඇමෙරිකාවේ 46 වන ජනාධිපතිවරයා ලෙස නොබෝදා දිවුරුම් දුන්නේය. වෙනත් ජනාධිපතිවරණවලදී මෙන් නොව මෙවර ජනාධිපතිවරණයේදී අවිනිශ්චිත තත්ත්වයක් උදාවිය. එයට හේතු වූයේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ව්‍යවස්ථාපිත කුමන්ත්‍රණයක් කිරීමට උත්සාහ කිරීමයි. ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේ මුල් අවදියේදී තමන් පරාජය වුවහොත් මැතිවරණ ප්‍රතිඵලය පිළි නොගන්නා බව ඔහු කීය. තැපැල් ඡන්ද ගණන් කිරීම පිළිබඳව ඔහු සැක පහළ කළේය. මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශ වන විට බයිඩන් ජය ගන්නා බව පැහැදිලිව පෙනෙද්දී තමා ජයගත් බව ඔහු ප්‍රකාශ කළේය. මේ අතර මීළඟ ආණ්ඩුව පිහිටුවන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප් බව ඔහුගේ රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ කීය. ඔහුගේ නීතිඥ කණ්ඩායම මැතිවරණ ප්‍රතිඵලවලට එරෙහිව නඩු ගණනාවක් ගොනු කළ මුත් ඒ සියල්ලම පරාජයට පත් විය. අවසානයේදී මැතිවරණ කොලීජිය බයිඩන් ජයගත් බව ප්‍රකාශ කළේය.

මේ ප්‍රතිඵලය අනුමත කළ යුතු වුයේ සෙනෙට් සභාව සහ පහළ මන්ත්‍රණ සභාවෙන් සමන්විත වන කොන්ග්‍රසය මගිනි. එය සාකච්ඡාවට ගත් අවස්ථාවේදී මහජන රැළියකදී ට්‍රම්ප් කල පෙළඹවීමකට අනුව ඔහුගේ ආධාරකරුවන් රැස්වීම පැවැත්වුන කැපිටල් හිල් හි ශාලාවට කඩා වැදුනහ. රැස්වීම අතරමග නතර කිරීමට සිදුවිය. පසුව කොන්ග්‍රසය බයිඩන්ගේ ජයග්‍රහණය අනුමත කළත් රිපබ්ලිකන් පක්ෂයේ කොන්ග්‍රස් නියෝජිතයන් 147 එයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහ. අවුල් මනසක් සහිත එක් පුද්ගලයකු ප්‍රජාතන්ත්‍රවාදී සම්මතයන්ට එරෙහිව යමින් සිය ආධාර කරුවන් මෙහෙයවීමට සමත් වීම තේරුම් ගත හැකි වුවත් රිපබ්ලිකන් පක්ෂයේ කොන්ග්‍රස් නියෝජිතයන් 147 දෙනකු ප්‍රජාතාන්ත්‍රික සම්මතයන්ට එරෙහි වන සේ මෝහනයට පත්වීම තේරුම් ගත නොහැක.

ට්‍රම්ප් විසින් කරන ලද්දේ ඇමරිකන් පොදුජන විඥානයට විනාශකාරී ලෙස බලපෑම් කිරීමයි. කාලයක් තිස්සේ ඔහු විසින් ඇමෙරිකන් සුදු ජාතිකත්වය අනෙක් ජන වර්ගයන්ට සාපේක්ෂව උත්කර්ෂයට නංවනු ලැබූ අතර එය සියවස් ගණනාවක් තුළ වර්ධනය වූ ඇමෙරිකන් ලිබරල් සාරධර්මවලට පටහැනි වෙයි. අවසානයේදී ඔහු විසින් ඇමෙරිකාව බෙදන ලදී.

ශ්‍රී ලංකාව

ශ්‍රී ලංකාවේ දේශපාලන බලය උදෙසා විනාශකාරී ලෙස පොදුජන විඥානයට බලපෑම් කිරීම දශක ගණනාවක් තිස්සේ සිදුවෙමින් පවතී. අගමැති බණ්ඩාරනායක විසින් පෞද්ගලික දේපල රජය සතු කිරීම මගින් බොරු දේශ ප්‍රේමයක් ඇති කරන ලදී. පසුව රජය සතු කරනු ලැබූ මෙම දේපල සහ ව්‍යාපාර පවත්නා ආණ්ඩු විසින් තමන්ගේ ආධාර කරුවන්ට සහ හිතවතුන්ට රැකියා ලබා දීමේ උල්පතක් බවට පත්විය. එයට අනුබද්ධ බොරු දේශප්‍රේමයද එම මට්ටමටම අවප්‍රමාණ විය. අවසානයේදී මේවායේ පාඩුවලට මුදල් සපයනු ලැබුවේ රාජ්‍ය ආදායමෙනි. මේවා දිගටම රජය සතුව පවත්වා ගැනීමට බල කිරීමට තරම් බොරු දේශ ප්‍රේමය තවමත් බලවත්ය. මෙම තත්ත්වය පාලකයන්ට වාසි සහගත බැවින් ඔවුන් බොරු දේශප්‍රේමය උත්කර්ෂයට නංවති. මේ සඳහා ඔවුන් පොදුජන විඥානය නොමග යවති. තත්වගත වූ පොදුජන විඥානය මගින් මෙහෙයවනු ලබන ජනතාව තමන්ට අවාසි සහගත වුවත් මේවා රජය සන්තකයේ තබාගත යුතුයයි සිතති. රජය සතු මෙම ව්‍යාපාර වලින් ලාභ ලැබිය යුතු යයි බල කරමින් කිසිවකු පෙළපාලි යන්නේ නැත.

අගමැති බණ්ඩාරනායක පොදුජන විඥානය නොමග යවමින් ජාතිවාදයද දේශපාලනීකරණය කළේය. එක්තරා පන්තියක් අත තිබූ බලය පොදුජනතාව අතට පත්විය යුතුව තිබූ නමුත් එම ප්‍රවාහයේදී රාජ්‍යය විසින් ජනතාව සමග සන්නිවේදනයේදී ජනතාවගේ භාෂාව පාවිච්චි කරන අවස්ථාවේදී ඉංග්‍රීසිය වෙනුවට සිංහල මතු නොව දෙමළද ආදේශ විය යුතුව තිබුණි.

මෙම බොරු දේශප්‍රේමය සහ ජාතිවාදය බණ්ඩාරනායක මැතිනිය සහ බණ්ඩාරනායක ගේ දේශපාලන දරුවන් වන මහින්ද සහ ගෝඨාභය රාජපක්ෂ විසින් දේශපාලන බලය උදෙසා විනාශකාරී ලෙස පොදුජන විඥානය නොමග යැවීමට භාවිතා කරන ලදී. උත්ප්‍රාසය වන්නේ බලයට පැමිණි පසු එම ස්ථාවරය දිගටම පවත්වා ගැනීමට ඔවුන්ට අපහසු වීමයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මුහුණ දෙන ගැටලුව මෙයයි.

බොරු දේශප්‍රේමය

ගෝඨාභය රාජපක්ෂ විසින් ජනාධිපතිවරණයේදී සහ ඊට පෙර සමාජගත කරනු ලැබූ බොරු දේශප්‍රේමය ඉදිරියට ගෙන යා නොහැකි වීමට බලපාන ප්‍රධාන හේතු තුනක් තිබේ.

පළමුවෙන් ඔහු ජාතික සම්පත් විකිනීමට දායක වී ඇති පුද්ගලයෙකි. දැනට ශන්ග්රිලා හෝටලය ඇති බිම එහි අයිතිකරුවන්ට මහින්ද රාජපක්ෂ පාලන සමයේදී සින්නක්කරව විකුණන ලදී. කොළඹ ජාත්‍යන්තර බහාලූ පර්යන්තය චීන සමාගමක් විසින් ඉදිකරන ලදුව එම පර්යන්තය පාලනය කරන සමාගමේ 85% ක අයිතිය (මෙය සාපේක්ෂ වශයෙන් වැඩි අගයකි.) චීන ජාතිකයන්ටද 15% ක අයිතිය වරාය අධිකාරියටද පවරා දෙන ලදී. චීනය විසින් ඉදි කරනලද පෝට් සිටියේ කොටසක් චීනයට සින්නක්කරව පවරා දෙන ලද අතර පසුගිය ආණ්ඩුව විසින් එය දිගු කාලීන බද්දක් ලෙස වෙනස් කරවා ගන්නා ලදී. හම්බන්තොට වරාය සෑදීම සඳහා චීනයෙන් අධික පොලියකට ණයක් ගත් අතර එම ණය ගෙවීම සඳහා වරායෙන් ලැබෙන ප්‍රතිලාභ ප්‍රමාණවත් නොවූ හෙයින් එය චීන සමාගමකට දීර්ඝ කාලීන බද්දකට පවරා දීමට පසුගිය ආණ්ඩුවට සිදුවිය.

දෙවැන්න දීර්ඝ කාලයක් තිස්සේ සිදුවුන වැරදි මූල්‍ය පාලනය හේතුවෙන් රටේ ආර්ථිකය ඉතා අවදානම් සහගත තත්ත්වයකට පත්ව තිබීමයි. නිදහස ලබා ගත් දා සිට එම්. ඩි. එච්. ජයවර්ධන මුදල් ඇමති ධුරය දැරූ වසර දෙක හැර අනෙක් සියලුම අවුරුදුවල මෙරට තිබී ඇත්තේ අදායමට වඩා වියදම වැඩි අයවැයකි. මෙම වැඩිපුර වියදම් කළ මුදලින් කරන ලද ආයෝජන රටේ ආර්ථික වෘද්ධිය සඳහා ප්‍රමාණවත් පරිදි දායක නොවූ බැවින් රට ණය අර්බුදයක හිරවී ඇත. අපට ඵලදායී නොවන රාජ්‍ය සේවයක් ඇති අතර පැවති ආණ්ඩු තමන්ගේ ආධාරකරුවන්ට රැකියා සපයා දීම සඳහා එය ප්‍රසාරණය කරණ ලදී. මෙය නොකරන ලද්දේ 2001 දී බලයට පැමිණි රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුවෙන් පමණි. ඔහුගේ දීර්ඝ කාලින දැක්මක් සහිත එම ක්‍රියාව ඔහුගේ දේශපාලන සගයන්ගේ විරෝධයට ද හේතු විය.

මෙරට නීතියේ අධිපත්‍යය කෙරෙහි ආයෝජකයන්ට විශ්වාසයක් නොමැති අතර අපේ වැටුප් සාපේක්ෂ වශයෙන් ඉහළ අගයක් ගනී. රටේ ප්‍රතිපත්තිවල ස්ථාවර භාවයක් නොමැත. එබැවින් පෞද්ගලික ආයෝජකයෝ මෙරටට නොපැමිණෙති. ඒ මතට වර්තමාන රජය විසින් තමන් ගැන පමණක් සිතන මෙරට පෞද්ගලික අංශයේද ආශීර්වාදය ඇතිව විශාල වශයෙන් බදු අඩු කිරීම නිසා රාජ්‍ය ආදායම බොහෝසෙයින් පහත වැටුණි. එබැවින් මේ අවස්ථාවේදී බරපතල ආර්ථික ප්‍රතිසංස්කරණවලට යා යුතු තත්ත්වයක් උද්ගතව තිබේ. මේවා අතර රාජ්‍ය සම්පත් සහ ව්‍යාපාර පෞද්ගලීකරණය සහ රාජ්‍යශෙයේ ඵලදායීතාව ඉහළ නංවා අනවශ්‍ය පිරිස් ඉවත් කිරීම ද වේ. මුදල් අච්චු ගැසීමෙන් පමණක් ප්‍රශ්න විසඳිය නොහැක. රජය විසින් ජනතාවට සත්‍යය කිව යුතු අතර ජනතාව විසින්ද රජය කියන තෙක් නොසිට සත්‍යය වටහා ගත යුතුව තිබේ.

තුන්වැන්න ඇමරිකන් කණ්ඩායම සහ චීනය අතර ඇති කඹ ඇදිල්ලයි. ඇමෙරිකාව, ජපානය සහ ඉන්දියාවෙන් සමන්විත වන ඇමරිකන් කණ්ඩායමේ නොසතුටට ආණ්ඩුව ලක්වී තිබේ. එම්.සී.සී. ගිවිසුමෙන් ලංකාව ඉවත් වූ අතර ලංකාව තුල චීනයට විශේෂ පහසුකම් නොසලස්වා සියල්ලන්ටම සමාන අවස්ථා සලසා දෙන ලෙස ඇමෙරිකානු තානාපතිනිය ඉල්ලා තිබේ. පසුගිය ආණ්ඩුව ජපාන ණය යෝජනා ක්‍රමයක් යටතේ සෑදීමට අදහස් කළ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය මෙම ආණ්ඩුව විසින් ප්‍රතික්ෂේප කරන ලදී. දැනට කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධ විරෝධතා පිටුපස චීනය සිටිතැයි ඉන්දියාව අනුමාන කරයි. මෙම පර්යන්තය ඉදිකිරිම සඳහා ඉන්දියාවට සහ ජපානයට බාරදීමට පසුගිය ආණ්ඩුව තීරණය කලේ කලින් තිබූ රාජපක්ෂ ආණ්ඩුව මගින් ඇතිකළ චීන බලපෑම තුලනය කිරීමටයි.

රජය සම්පත් සහ ව්‍යාපාර සියතෙහි තබාගෙන ඒවා වැරදි ලෙස කළමනාකරණය මගින් ජනතාවට සැලසෙන සෙතක් නැත. සෙත සැලසෙන්නේ පාලකයන්ටයි. ජනතාවට සෙතක් සැලසෙන්නේ ඒවා ලාභ ලැබෙන ලෙස කළමනාකරණය කළහොත් පමණි. ලෝක තෙල් සම්පත් වලින් 20% ක් සතුව ඇති වැනිසියුලාව අද ලෝකයේ ඉතාම අධික උද්ධමනයක් ඇති රටකි. අපගේ ප්‍රශ්නය වන්නේ වැරදි සහ දූෂිත පාලනයයි. ජාතික සම්පත් සහ ආයතන වැරදි ලෙස කළමනාකරණය කිරීම සම්බන්ධව මුනිවත රකිමින් රාජ්‍ය සම්පත් සහ ආයතන විකිනීමට එරෙහි වීම මුග්ධ ක්‍රියාවකි. මක්නිසාද යත් එසේ විකිනීමට සිදුවන එක ප්‍රධාන හේතුවක් වන්නේ ඒවායේ වැරදි කළමනාකරණයයි. හේතුව වෙනුවට ඵලය පාලනය කිරීමට උත්සාහ කරන ජාතිවාදී බෞද්ධ භික්ෂූහු විනාශකාරී ලෙස පොදුජන විඥානයට අනිසි බලපෑමක් කරති.

ආණ්ඩුව වරායේ නැගෙනහිර පර්යන්තය පාලනය කරන සමාගමේ කොටස් වලින් 49% ක් ඉන්දියානු සහ ජපන් ආයෝජකයන්ට විකිණීමට තීරණය කර තිබුණි..ඒ අනුව පර්යන්තයේ අයිතිය ද සමාගමේ කොටස් වලින් 51% ක අයිතිය ද වරාය අධිකාරිය සතු වනු ඇත. ඒ අනුව මෙහි බලය ඇත්තේ වරාය අධිකරියටයි. ලංකාවේ ප්‍රති අපනයනවලින් 65%ක් පැමිණෙන්නේ ඉන්දියාවෙන් බව අප මතක තබා ගත යුතුය. එබැවින් ඔවුන් මෙයට සම්බන්ධවීම අපට වාසි සහගතය. මෙයට යාබද පර්යන්තයේ කොටස් 85%ක් ද වෙනත් සම්පත් ද චීන සමාගම්වලට පවරා දෙන විට භික්ෂූන් සහ ජේ වී පිය ඇතුළු පිරිස් මේ ආකාර බරපතල විරෝධයක් කළේ නැත. මේ අනුව මොවුන් චීන හිතැත්තන් දැයි සැකයක් ඇතිවේ. අප කිසිම සුපිරි බලවතකුට බැඳී සිටිය යුතු නොවේ. ඉන්දියාව අමනාප කරගැනීමෙන් විවිධ දේශපාලන ප්‍රතිවිපාකෙවලට මුහුණ දීමට අපට සිදුවනු ඇත.

කෙසේවෙතත් වරාය වෘත්තීය සමිති.බටහිර පර්යන්තය ඉන්දියාවට පවරා දීමට එකඟ වී තිබුණි. ඒ අනුව තමන් විසින්ම අවුළුවන ලද බොරු දේශප්‍රේමින්ගේ බලපෑමට යටත් වූ ආණ්ඩුව නැගෙනහිර පර්යන්තය නොව බටහිර පර්යන්තය ඉන්දියාවට සහ ජපානයට පවරා දීමට එකඟ වී ඇත. එහි අයිතිය 49% ක් නොව චීනයට පවරා දුන් පර්යන්තයේ මෙන් 85% ක් වීමට බොහෝ දුරට ඉඩ තිබේ. බොරු දේශප්‍රේමින් මෙයට විරුද්ධ නොවනු ඇති අතර බොරු දේශප්‍රේමයේ සැබෑ මුහුණුවර එයයි.

ජාතිවාදය

ගෝඨාභය රාජපක්ෂ විසින් ජනාධිපතිවරණයේදී සහ ඊට පෙර සමාජ ගත කරනු ලැබූ අනෙක් කරුණ නම් ජාතිවාදයයි. මේ තත්ත්වයට බරපතල ප්‍රතිවිරෝධ එල්ල වෙමින් තිබේ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් මිෂෙල් බැෂලේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුවට ඉදිරිපත් කළ වාර්තාවක් මගින් එහි සාමාජික රටවල් විසින් ශ්‍රී ලංකාව මෙතෙක් ඉටු නොකළ පොරොන්දු සම්බන්ධයෙන් ජාත්‍යන්තර අපරාධ අධිකරණයට පැමිණිලි කළ යුතු බවත්, අදාල පුද්ගලයන්ගේ වත්කම් තහනම් කිරීම සහ සංචාරක සම්බාධක පැනවීම වැනි ක්‍රියා සිදුකළ යුතු බවත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුවට යෝජනා කරයි. මෙය මෙතෙක් ඇති නොවූ ඉතාමත් බරපතල තත්ත්වයකි.

මෙයට අමතරව සියලුම ද්‍රවිඩ පක්ෂ විසින්ද ද්‍රවිඩ සිවිල් සංවිධාන සහ ආගමික නායකයන් විසින් ද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුවේ සාමාජික රටවල් වෙත යොමුකරන ලද ඒකාබද්ධ ලිපියක් මගින් ශ්‍රී ලංකාව සම්බන්ධව ක්‍රියා කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුවේ සභාපති විසින් එක්සත් ජාතීන්ගේ සංගමයේ මහා ලේකම් වෙත යොමු කළ යුතු බවත් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර අපරාධ අධිකරණයට පැමිණිලි කල යුතු බවත් කියා සිටිති.

වර්තමාන බයිඩන් පරිපාලනය යටතේ නැවතත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුවට එක් විය හැකි ඇමෙරිකාව ද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුවේ සැලකියයුතු නියෝජනයක් ඇති යුරෝපා සංගමය ද ශ්‍රී ලංකාවේ අපනයනවලින් 25% බැගින් මුළු 50%ක ප්‍රතිශතයකට හිමිකම් කියති. එයට අමතරව යුරෝපා සංගමය වර්ෂ 2015 දී නැවත ශ්‍රී ලංකාවට ප්‍රදානය කරන ලද ජී. එස්. පී. සහනය යුරෝපා සංගමයට කෙරෙන අපේ අපනයනවලට සෑහෙන ප්‍රතිලාභයක් සලසා දී ඇත. ශ්‍රී ලංකාව මගින් බලහත්කාරයෙන් කෙරෙන කොවිඩ් අසාදිතවූ මුස්ලිම් ජාතිකයන්ගේ මළ සිරුරු ආදාහනය ලෝකය පුරා බලවත් විරෝධතාවන්ට හේතුවී ඇත.

පොදුජන විඥාණයට විනාශකාරී ලෙස බලපෑම් කරමින් ඡන්ද ලබා ගැනීමේ උපක්‍රමයක් ලෙස ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණයේදී පාවිච්චි කළ බොරු දේශප්‍රේමය සහ ජාතිවාදය යන කරුණු දෙකට ඉදිරියට යාමට නොහැකි ලෙස දේශීය වශයෙන් ද විදේශීය වශයෙන් ද බලපෑම් එල්ල වෙමින් තිබේ. බොරු දේශප්‍රේමය විෂයයෙහි ආණ්ඩුවේ ආපසු හැරීමට එරෙහිව ද ප්‍රබල විරෝධතා ඇතිවෙමින් තිබේ. එබැවින් බොරු දේශප්‍රේමය සහ ජාතිවාදය සම්බන්ධයෙන් ඇති පොදුජන විඥාණය දිගට පැවතිය හැක්කක් නොවේ.

රටක් සංවර්ධනය කිරීමට නම් සියලු පුරවැසියන්ගේ සහයෝගය ලැබිය යුතුය. යම්කිසි කණ්ඩායමක් බහුතරය විසින් සුළුතරය පාගා දමමින් රටක් සංවර්ධනය කිරීමට හැකි යයි සිතන්නේ නම් එය අමනෝඥ සිතුවිල්ලකි. මේ ආකාරයට රටක් මතු නොව කර්මාන්ත ශාලාවක්වත් පාලනය කළ නොහැක.

ට්‍රම්ප් ආදර්ශය

හිටපු ඇමෙරිකන් ජනාධිපති ට්‍රම්ප් කළ දේ අපි සාකච්ඡා කළෙමු. අවවර්ධිත ප්‍රජාතන්ත්‍රවාදයක් තිබෙන සහ දුර්වල ප්‍රජාතන්ත්‍රවාදී ආයතන පද්ධතියක් තිබෙන රටක් වන අපි මෙවැනි ප්‍රජාතන්ත්‍ර විරෝධී නායකයකු බිහි නොකිරීම පිළිබඳව සතුටු විය යුත්තෙමු. මෙම තත්ත්වයට ඇමෙරිකාව සාර්ථකව මුහුණ දුන්නේ ප්‍රබල ආයතන පද්ධතියක් සහ නීතියට උඩින් කිසිවකු නොමැත යන සම්ප්‍රදායක් තිබීම නිසාය. විශේෂයෙන්ම 20 වන සංශෝධනයෙන් පසු ශ්‍රී ලංකාවේ එවැනි තත්ත්වයක් නැත. යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියේ ඇතිවී ඇති වෙනස්කම් අපට පෙනේ. එමෙන්ම 2015 ජනවාරි 8 වනදා රාත්‍රියේ ඇතිවූ සිද්ධියද අප විසින් අමතක කළයුතු නැත. ප්‍රවෘත්ති වාර්තා අනුව ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරින්හේ විරුද්ධත්වය නිසා බලහත්කාරයෙන් බලය පැහැර ගැනීමේ ප්‍රයත්නයක් ව්‍යවර්ථ විය. පළපුරුදු දේශපාලනඥයකු වන හිටපු ජනාධිපතිවරයා පසුදා අළුයම වන විට බලය අත හැරියේය. මෙවැනි තත්ත්වයකට විරුද්ධ වීමට අපගේ පොදුජන විඥාණය අප විසින් පෙළගස්වා ගත යුතුය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.