අවලස්සන ශ්‍රී ලාංකිකයින් තිදෙනාට තව දුරටත් රැවටෙමුද ?

Wimal Vasudeva Gammanpila
Share this on Social Media

-පිලිප් දිසානායක-

පසුගියදා ජනාධිපතිවරයා ජාතිය ඇමතුවේය. පවතින තත්ත්වය පිළිබදව යම් කිසි විග්‍රහයක් සමගින්, රජය මුහුණ දී ඇති ගැටලු සමග, සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යාම සඳහා රජය විසින් ගෙන ඇති ක්ෂණික පියවර පිළිබදව ජනාධිපතිවරයා විසින් යමක් ඉදිරිපත් කරාවි යැයි බොහෝ දෙනෙකු කල්පනා කර තිබුනි.

නමුත්, සිය කතාවේදී ඔහුගේ මූලික අවධානය යොමුව තිබුනේ ඉතා කෙටි කාලයක් තුළ, තමන් ඉදිරිපත් කරනු ලබන ප්‍රකාශය සිදු කර අවසන් කිරීමත්, එය ඉතා සරල හා චාම් ලෙස සිදු කිරීමත් සඳහාය.

කතාවේ සාරාංශය ලෙස පවතින තත්ත්වය පිළිබදව ගැඹුරු අවබෝධයක් ඔහුට ඇති බවත්, වත්මන් ගැටලුවලට හේතුව ඔහු නොවන බවත්, ඉදිරියේ දී එම ගැටලු විසඳා ගැනීම සඳහා දැඩි තීරණ ගැනීමට ඔහු අදහස් කරන බවත් ඒ නිසා, ඔහු පිළිබඳව තැබූ අසීමිත විශ්වාසය තව දුරටත් තබා ගනිමින් මේ දුෂ්කර මොහොත පහව යන තෙක් කටයුතු කරන ලෙස සියලු ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

මෙහි දී, ආණ්ඩුව තුළ පවතිනවා යැයි පැවසෙන ව්‍යාකූලත්වයන් හෝ ගම්මන්පිල හා වීරවංශ විසින් කියන ‘අවලස්සන ඇමරිකානුවා’ විසින් තමන් ග්‍රහණයට ගෙන ඇති බවක් හෝ සජබය විසින් සිදු කළ උද්ඝෝෂණය හේතුවෙන් යම් කම්පනයකට තමන් පත්වී ඇති බවක්, ඔහුගේ ප්‍රකාශනයෙන් හෝ හැසිරීම් තුළින් නොපෙන්වන්නට ඔහු වගබලා ගත්තේය.

ඔහුගේ මුළු කතාව තුළින් මගේ අවධානය යොමු වුයේ, අවුරුදු දෙකක් තිස්සේ තෙපර බාමින්, හොර ගල් අහුලමින් සිට තම ඊනියා දේශප්‍රේමීත්වය පළුදු විය හැකි තීරණයක් ලෙස පෙන්වූ, එසේ කළ හොත් ආණ්ඩුවේ මොහොතක්වත් රැඳෙන්නේ නැති බවට වහසි බස් දෙඩවූ මැති ඇමතිවරු හා මහබැංකු අධිපතිවරයෙකු සිටින ආණ්ඩුවක, ජනාධිපතිවරයා විසින් IMF යාම නිළ වශයෙන් ප්‍රකාශ කිරී‌මේ කෑල්ලට පමණි.

කොරෝනාවට ධම්මික පැණිය, ගොවිතැනට කාබනික පොහොර, සහල් අර්බුදයට මේජර්ගේ ඩේටබේස් වැනි උත්තර සෙවූ ආණ්ඩුවක්, පණ යන්න මොහොතකට පෙර, ගිලෙන්න යන එකා පිදුරු ගහේ එල්ලෙන්න යනවා සේ IMF එකේ එල්ලීමෙන් රට පත්ව ඇති මරණීය අවධානයෙන් ගොඩ ඒමට හැකියාවක් තිබේද යන්න විමසා බැලීම වටී.

එදිනෙදා ජීවිතයට අත්‍යාවශ්‍ය දේ ලබා ගැනීමට නොහැකිව ලත වන මිනිසුන් බැලු බැලු තැන්වලය. ජන විරෝධය කීරි ගැහෙන තරම්ය. පෙර නොවූවිරූ පරිදි මධ්‍යම පාන්තිකයන් පවා යම් යම් තැන්වල පාරට බැහැලාය. වත්මන් ගැටලු සඳහා මැති ඇමතීන් ලබා දෙන ප්‍රකාශ අල්ලේ පැලවෙන ගානට වැටිලාය. ආර්ථික අහේනියටත් වඩා එදිනෙදා ජීවිත ගත කිරීමට අවශ්‍ය දේ සපයා ගැනීමට නොහැකි වීම නිසා ඇති වූ ව්‍යාකූලත්වය නිසා ඇති වූ කළකිරීම, ඉච්ඡාබංගත්වය නිසා සාමාන්‍ය මිනිසුන් පසුවන්නේ විශාල කෝපයකිනි. ඉන් බහුතරයක් මුලාවීම නිසා ඇති වූ කෝපයෙන් තවත් මුලාවීමක් තුළ කොටු කිරීම ඉතා පහසු වනු ඇත. අවලස්සන ශ්‍රී ලංකිකයින් තිදෙනාගේ ඉලක්කය එය විය හැක.

මේ අනුව ගත් කළ ශ්‍රී ලංකා රාජ්‍ය මේ වන විට අර්ධ ආරාජික රාජ්‍ය තත්ත්වයකට පත්වෙමින් තිබේ. අතීත අත්දැකීම් අනුව ප්‍රජාතන්ත්‍රවාදය අගයන කිසිවෙක් එවැනි තත්ත්වයකට රට තල්ලු වීම කිසිසේත් අනුමත නොකරනු ඇත. එවැනි තත්ත්වයක් නිසා අප සියළු දෙනාගේ ජීවිත තවත් අර්බුදයට යන අතර, මේ ගැටලු තව තවත් සංකීරණ වනු නොඅනුමානය.

මෙවැනි තත්ත්වයක් තුළ, අපේ වචනයෙන් කීවොත් කට්ටියටම ගහෙන් බැසීමට කාලය එළඹ තිබේ. දේශපාලකයින් මෙන්ම රාජ්‍ය නිළධාරීන් ද එක්ව අපව මේ අගාධයට ඇද දමා ඇති අතර, පුරවැසියන් ලෙස අප ඊට සම්පුර්ණයෙන් වග කිව යුතුය.

පම්පෝරි ගසමින්, වංශෙ කබල් ගාමින්, නිතරම ගහ මරා ගනිමින්, ගිණි පොලියට ණයට අරන් බාල් දාපු සංස්කෘතිය වෙනුවට පවතින තත්ත්වය අවබෝධකර ගනිමින් ඒ තත්ත්වයෙන් ගොඩ ඒම සඳහා පොටක් පාදා ගැනීමට අපට අද බලකෙරී තිබේ.

ඔලුගෙඩි මාරුවක් හෝ ආණ්ඩු පෙරළියක් මගින් අද මුහුණ දෙන ගැටලු විසඳා ගැනීමට නොහැකි වන නිසා අපට අකමැත්තෙන් වුවත් මේ සඳහා දීර්ඝ කාලීන සැලසුමක් තුළ විසදුම් පැකේජයක් සකසා ගත යුතු බව තිබේ. නමුත්, අප එතෙක් ජීවත් විය යුතුය. ඒ නිසාම හෙට ජීවිතය ඊයේ ගත කළ ජීවිතය තරම්  සුන්දර නොවනු ඇත. මේ තත්ත්වයට මුහුණ දීමට නම් අපට සෑහෙන දෙයක් අත්හැරීමට සිදු වනු නොඅනුමානය. ඇගිල්ලේ තරමට ම ඉදිමී සිටීමට සිදුවනු ඇත.

මෙහි දී රජය මෙන්ම විපක්ෂය ද වගකිවයුතු අයුරින් කටයුතු කිරීම අත්‍යවශ්‍ය වේ. එකිනෙකාට චෝදනා එල්ල කිරීම වෙනුවට අප වැටී ඇති අගාධයේ ගැඹුර දෙපාර්ශවයම එක් වී සොයා ගත යුතුය. අප ලබාගෙන ඇති ණය කන්දරාව කොපමණදැයි දන්න කිසිවෙකු මෙහි පිට සිටිනාවාද යන්න ද සැක සිතුනේ හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහ කළ ප්‍රකාශයන් නිසාය. ඔහු කියා සිටියේ මධ්‍යම රජයට අමතරව පළාත් සභා හා පළාත් පාලන ආයතන මෙන්ම, වෙනත් රජයට අනුබද්ධ ආයතන විසින් ද දේශීය හා විදේශීය ණය ගෙන ඇති බවත්, ඒවා විගණනයට පවා භාජනය වී නොමැති බවත්ය.

එය සැබෑවක් නම් මිනිසුන්ට තව දුරටත් බේගල් ඇද නොබා මෙන්ම මේ ණය ප්‍රමාණයත් කොතරම් ද යන්නත්, එය ගෙවිය හැකි ආකාරයන් පිළිබඳවත්, රජයේ වියදම් දැඩි ලෙස පාලනය කරමින් අධිකව පාඩු ලබන ආයතන ප්‍රතිව්‍යුහගත කරමින්, රාජ්‍ය ආදායම් වැඩි කිරීම පිළිබඳව ඉක්මන් තීරණයක් ගනිමින් ඒවා මහජනයා වෙත ද ඉදිරිපත් කරමින්, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව වැනි ආයතන සමග සාකච්ඡා වහ වහා ආරම්භ කල යුතුය.

ඒ අනුව අප ලබාගෙන තිබෙන ණය ගෙවීම් ප්‍රතිව්‍යුහගත කිරීමට ඉක්මන් අවධානයක් යොමු කළ යුතුය. ඒ සඳහා රජය මෙන්ම විපක්ෂය සමග එකට යම් කිසි කාලයක් කටයුතු කළ යුතුය. එමෙන්ම, මෙවැනි තත්ත්වයකට මුහුණ දුන් ආජන්ටිනාව, ග්‍රීසිය හා ලෙබනනය වැනි රටවල් ඉන් ගොඩ පැමිනි ආකාරය පිළිබඳව විශේෂ අධ්‍යයනයක් කළ යුතුය.

මේ සඳහා ආණුඩව හා විපක්ෂය අතර දේශපාලන ඒකගත්වයක් ඇති කර ගත යුතුය. අර්බුදයෙන් ගොඩ ඒම සඳහා පොදු න්‍යායපත්‍රයක් සැකසිය යුතුය.

එය කියන තරම් ලේසි නැති බව දන්නා නමුත්, ඒ සඳහා අප බලකල යුතුය.  නැත්නම්, ආණ්ඩුවෙන් කැඩුණු අවලස්සන ශ්‍රී ලංකිකයින් තිදෙනා විසින් ගොඩනැගී තිබෙන ජන විරෝධය දඩමීමා කරගෙන ඔලුගෙඩි මාරුවකින් නැවතත් මේ රට මුලාවට පත්කරමින් තවත් ප්‍රපාතයකට ඇද දැමීමට නියමිතය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.