තිඥයන් සමග සංවාදයක් ගොඩනැගීම සහ සංවිධානගත කිරීම

Sudarshana Gunawardana
Share this on Social Media

සංවාදයට විවෘතයි

නීතිඥ වෘත්තියට සුදුසුකම් ලැබූ පිරිස අතරින්
1. වෘත්තීය නීතිඥයන් වශයෙන් කටයුතු කරන හෙවත් වෘත්තීයක් ලෙස නීතිඥයන් වශයෙන් කටයුතු කරන පිරිස සහ
2. වෘත්තීය නීතිඥයන් වශයෙන් කටයුතු නොකරන හෙවත් වෘත්තියක් ලෙස නීතිඥයන් වශයෙන් කටයුතු නොකරන
වශයෙන් ප්‍රධාන කොටස් දෙකකට බෙදිය හැකිය.

වෘත්තීය නීතිඥයන් ගත් කළ
1. ඔවුන් වෘත්තිකයන් වශයෙන් මුහුණ දෙන අභියෝග
2. ඔවුන් පුරවැසියන් වශයෙන් මුහුණ දෙන අභියෝග
3. ඔවුන් පාරිභෝගිකයන් වශයෙන් මුහුණ දෙන අභියෝග සහ
4. සෙසු පුරවැසියන් මුහුණ දෙන අභියෝග පිළිබඳ ඔවුන්ගේ සහකම්පනය
විසින් ඔවුන් සමාජ ක්‍රියාකාරිත්වයකට පොළඹවනු ඇත.

වෘත්තීය නීතිඥයන් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සාමාජිකයන් ලෙස සංවිධානය වී සිටිති.

මෙයට අමතරව සමහර නීතිඥයෝ විවිධ දේශපාලන පක්ෂවලට අනුයුක්තව නීතිඥ සංවිධානයන්හි සංවිධානගතව සිටිති.

මෙම නීතිඥවරුන් අතරින් කිසියම් පිරිසක් පොදු සමාජ සුබසිද්ධිය වෙනුවෙන් ක්‍රියාත්මක වන සංවිධානයක් ලෙස ගොණු කරගැනීමේ හැකියාවක් සහ ඒ සඳහා අවකාශයක් පවතියි.

පසුගිය කාලයේදී එසේ බිහිවූ සංවිධානයක් ලෙස 2009 දී බිහිවූ ‘ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ නීතිඥයෝ’ සැලකිය හැකිය. එම සංවිධානය ගොඩනැගීමට මුල්වූ කණ්ඩායම වෘත්තීය නීතිඥයන් වූ අතර කිසියම් දේශපාලන පක්ෂයකට සෘජුව සම්බන්ධ නොවූ, වෙනත් සමාජ ව්‍යාපාර සමගද සම්බන්ධයක් තිබූ පිරිසකි. අධිකරණයේ ස්වාධීනතාවය අභියෝගයට ලක් වූ අවස්ථාවක් වන හිටපු අගවිනිසුරුවරිය දෝෂාභියෝගයක් මගින් ධුරයෙන් පහ කිරීමේ අවස්ථාව නීතිඥයන් හට එකතුවීම සඳහා අවකාශයක් සැපයූ අතර ඒ අනුව විවිධ විපක්ෂ දේශපාලන ධාරාවන්ට සම්බන්ධ නීතිඥයන් ද එකතු කරගෙන ‘නීතිඥ එකමුතුව’ ගොඩ නගන ලදී.

ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ නීතිඥයෝ සංවිධානය සහ පොදුවේ නීතිඥ එකමුතුව 2015 රෙජීමය වෙනස් කිරීමේ ව්‍යායාමය සමග අනන්‍ය වූ අතර,  නිදසුනක් වශයෙන් ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ නීතිඥයෝ සංවිධානයේ සහ නීතිඥ එකමුතුවේ ප්‍රධානීහු ‘සාධාරණ සමාජයක් සඳහා ජාතික ව්‍යාපාරයේ’ නායකත්ව භූමිකාවක් ඉටු කළහ. එහි සාමාජිකයන් අතරින් සමහරු 2015-2019 යහපාලන ආණ්ඩුවට සෘජුව හෝ වක්‍රව සම්බන්ධ වූහ. 2018 ඔක්තෝබර් මාසයේ සිදුවූ ව්‍යවස්ථා කුමන්ත්‍රණය අවස්ථාවේදී මෙම බලවේග නැවත සංවිධානය වී නීතිවිරෝධීව පිහිටවූ ආණ්ඩුව පරාජය කිරීමට මැදිහත්වූහ.

ඉන් පසුව මේ අතරින් සැලකිය යුතු පිරිසක් 2019 ජනාධිපතිවරණයේදී නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අපේක්ෂකයා සහ ජාතික ජන බලවේගයේ අපේක්ෂකයා ජයග්‍රහණය කරවීම වෙනුවෙන් සක්‍රිය දේශපාලන දායකත්වයක යෙදුණහ.

2019 ජනාධිපතිවරණයෙන් විපක්ෂ අපේක්ෂකයා ජයග්‍රහණය කිරීමත්, ඉන් ඉක්බිති පැවැති පාර්ලිමේන්තු ඡන්ද විමසීමෙන් ජනාධිපතිවරයාගේ පක්ෂය ප්‍රමුඛ සන්ධානය 2/3ක බහුතරයකින් ජයග්‍රහණයක් ලැබීමත්, 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් 19 වන සංශෝධනය මගින් ඇති කළ ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය ආපසු හැරවීමත් හේතුවෙන් දේශපාලන ව්‍යුහය නැවතත්ත් පූර්ව 2015 අවධියට ගමන් කොට ඇති අතර, කෝවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් තවදුරටත් අයිතිවාසිකම් සීමා කිරීම සඳහා ආණ්ඩුවට අවකාශ ලැබී ඇත.

මෙවැනි වාතාවරණයක් තුළ වෘත්තීය නීතිඥයන් සමාජ යහපත වෙනුවෙන් සංවිධානගත කිරීමේදී මූලික වශයෙන්ම කළ යුතුවන්නේ වර්තමාන තත්ත්වය පිළිබඳව ඵලදායී සංවාදයක් පැවැත්වීමයි.

මෙහිදී,
1. අයිතිවාසිකම් වෙනුවෙන් කටයුතු කරන ඇක්ටිවිස්ට් නීතිඥයන්
2. අයිතිවාසිකම් සහ මහජන යහපත වෙනුවෙන් නීතිමය මැදිහත්වීම් සිදු කරන වෘත්තීය නීතිඥයන්
3. පොදුවේ සමාජ යහපත වෙනුවෙන් මැදිහත්වීමට කැමැති නිර්පක්ෂික නීතිඥයන්
4. විපක්ෂ දේශපාලන බලවේගයන්ට අයත් නීතිඥයන්
5. ආණ්ඩු පක්ෂ දේශපාලන බලවේගයන්ට අයත් නීතිඥයන්
අතරින් සමහරුන් හෝ සියල්ලන් අපගේ ඉලක්ක කණ්ඩායම ලෙස සැලකිය හැකිය. මෙයට අමතරව
1. දෙමළ සහ / හෝ මුස්ලිම් ජනප්‍රජාවන් හට අයත් නීතිඥයන්
2. විවිධ අනන්‍යතාවලට අයත් ජන කණ්ඩායම්හි අයිතිවාසිකම් වෙනුවෙන් කටයුතු කරන නීතිඥයන්
වැනි පිරිස් ද ඉලක්ක කණ්ඩායම තුළ අඩංගු විය හැකිය.

මෙවැනි එකතුවක් ගොඩනැගීමේදී සහ ඒ පිළිබඳව සංවාදයක් ආරම්භ කිරීමේදී වර්තමානයේ සමාජය තුළ පවතින ධෘවීකරණයන් ගේ බලපෑම සහ එය ආමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් කිසියම් උපායමාර්ගික එළැඹුමක් අවශ්‍ය වේ.

නිදසුනක් ලෙස ආණ්ඩුවට සම්බන්ධ දේශපාලන බලවේගයන්ට අයත් පිරිස් එයට විරුද්ධ කණ්ඩායම් විසින් ජාතිවාදීන් ලෙස හෙළාදැකීමට ලක් වන අතර ආණ්ඩුවට විරුද්ධ දේශපාලන බලවේගයන්ට අයත් පිරිස් ආණ්ඩුවට පක්ෂ කණ්ඩායම් විසින් එන් ජී ඕ කාරයන් ලෙස හෙළාදැකීමට ලක් වෙති.

එමෙන්ම අයිතිවාසිකම් පිළිබඳ ක්‍රියාකාරී ඇක්ටිවිස්ට් නීතිඥයන් විසින් එවැනි අයිතිවාසිකම් කඩවන අවස්ථාවන්හි එයට විරුද්ධව ප්‍රසිද්ධ ස්ථාවර ගන්නා ලෙස සහ ඒවා පදනම් කරගෙන විරෝධතා ව්‍යාපාර සංවිධානය කරන ලෙස මෙම එකතුව මත පීඩනයක් එල්ල කිරීම සුලබව සිදු වෙයි. අනන්‍යතාවන් මත පදනම් වූ අයිතිවාසිකම් පිළිබඳව උනන්දුවන කණ්ඩායම් විසින්ද අදාළ අවස්ථාවන්හිදී නිවේදන නිකුත් කිරීමට පීඩනයක් එල්ල කිරීම සිදු වෙයි. මෙම තත්ත්වයට අප ප්‍රතිචාර දැක්විය යුත්තේ කෙසේද යන්න එකඟතාවයක් ඇති කර ගත යුතුය.

‘සිරකරු අයිතිවාසිකම්’ වෙනුවෙන් කටයුතු කරන නීතිඥයන් කණ්ඩායමක් දැනට ක්‍රියාත්මක වන බැවින්ද, මානව අයිතිවාසිකම් සඳහා වන නීතිඥ කණ්ඩායමක් සංවිධානය වෙමින් පවතින හෙයින්ද, ප්‍රජාතන්ත්‍රවාදය සඳහා නීතිඥයෝ සංවිධානය නැවතත් සංවිධානය වීමට ඉඩක් පවතින හෙයින්ද, එම ක්‍රියාකාරිත්වයන්හි අරමුණු සහ සංවිධාන අකෘතියට ඔබ්බෙන් යන සහ ඒ හා සමග ඝට්ටනයක් ඇති නොවන වැඩපිළිවෙළක් ගොඩ නගා ගැනීම අභියෝගයක්ව පවතී.

මේ පිළිබඳව ඔබගේ අදහස් ඉදිරිපත් කිරීම මෙම කෙටුම්පත පෝෂණය කිරීම සඳහා ප්‍රයෝජනවත් වනු ඇත.

නීතිඥ සුදර්ශන ගුණවර්ධන
2020.11.22

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.