අයාල ආඥාපනත, ගණිකා නිවාස ආඥාපනත සහ ලිංගික නිදහස

Prostitution in Sri Lanka
Share this on Social Media

නීතීඥ ප්‍රබෝධ රත්නායක

වැඩිහිටි පුද්ගලයන් දෙදෙනෙකු අතර අන්‍යෝන්‍ය කැමැත්ත මත සිදුවන ලිංගික සම්බන්ධතාවයකට ලංකාවේ නීතියෙන් කිසිදු බාධාවක් නැහැ. එහෙත් ලිංගික ශ්‍රමිකයන්ට අදාල ව 1841අංක 04 දරණ ආයාල අඥාපනත, 1889 අංක 05 දරන ගණිකා නිවාස අඥාපනත් සහ දණ්ඩ නීති සංග්‍රහයේ 356 සහ 365(අ) වගන්ති ලංකාවේ ක්‍රියාත්මක වෙනවා. මේ පනත්දෙක භාවිතා කරල ලිංගික ශ්‍රමිකයෙක් පොලිසිය විසින් අත්අඩංගුවට අරන් අධිකරණයට ඉදිරිපත් කළාම දිගටම නඩු කියනවට වඩා වරද පිළිඅරන් පනතෙ තියෙන පොඩි දඩ මුදල ගෙවල යන්න ඕනැ කෙනෙක් කැමැතියි. ඒ නිසා තමන් ඇත්තටම ලිංගික ශ්‍රමිකයෙක් වුණත් නැතත් මේ අය වරද පිළිගන්නවා.

රාත්‍රියේ පාරක හෝ බස් නැවැතුම් පලක සිටීම, සන්තකයේ කොන්ඩම් හෝ උපත් පාලන පෙති තිබීම වැනි හේතු ඉදිරිපත් කරමින් පොලිසිය විවිධ පුද්ගලයන් අත්අඩංගුව ගන්න අයුරු අපිට නිරන්තරයෙන් දකින්නට ලැබෙනවා. එහෙම අත්අඩංගුව ගන්න එක කෙතරම් නිති විරෝධී වුවත් මේ කවුරුත් කරන්නේ වරද පිළිඅරන් දඩය ගෙවල යන එක.

කොළඹ කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක 2020 පෙබරවාරි නඩු තීන්දුවක් ලබා දෙමින් ප්‍රකාශ කර සිටියේ ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන නොයා කිසියම් කාන්තාවක්, සිය ජීවිකාව උදෙසා ගණිකා වෘත්තියේ යෙදීම ශ්‍රී ලංකා නීතිය යටතේ වරදක් නොවන බවය.

මීට වසර ගණනාවක් පෙර තීන්දු වූ මැක්සිමස් ඩැනීගේ නඩුද එවැනි තීන්දුවකි. එම නඩුවේදී මැක්සිමස් ඩැනී, වෙනුවෙන් පෙනී සිටියේ නීතිඥ ජේ.සී. වැලිඅමුණය. එම නඩුවට අනුව ඩැනී පොලිස් අත්අඩංගුවට පත්ව තිබුණේ හිතවත් කාන්තාවක් සමග කාමරයක සිටි නිසාය. මේ චෝදනාවට ඔහුට දින හතරක් සිරගතව සිටීමටද සිදුවූවේය. එවන් දඬුවමක් විඳ දින කිපයක් සිර භාරයේ සිට නිදහස් වූ ඩැනී පළමුව කළේ නීතිඥ වැලිඅමුණ මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පිළිබඳ පෙත්සමක් ගොනු කිරීමය. එම නඩුව අවසානයේ ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේ රජයට රුපියල් 25,000ක වන්දි මුදලක් පෙත්සම්කරුට ගෙවන ලෙසය. එසේම ඩැනීව අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන් හයදෙනාටද රුපියල් 5000 බැගින් පෙත්සම්කරුට පෞද්ගලිකව වන්දි ගෙවීමට සිදුවිය.

ඇත්තටම 1841අංක 04 දරණ ආයාල අඥාපනත හා 1889 අංක 05 දරන ගණිකා නිවාස අඥාපනත කියන පනත් දෙක ගේන කාලයේදී ලෝකයේ මානව හිමිකම් භාෂාවක් තිබුනේ නැහැ, නමුත් දැන් නීතිය දෙස බලන්න අපට මානව හිමිකම් භාෂාවක් තියෙනවා. එහෙත් අධිකරණයට මෙහිදී කරන්න පුළුවන් කටයුත්ත සීමිතයි. ඒ නිසා ප්‍රායෝගික තත්වයන් හමුවේ දැන් කළ යුත්තේ, මානව හිමිකම්, කාන්තාව අයිතිවාසික්ම සහ වෙනත් ලිංගික වරණයක් සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් ආදිය පදනම් කරගෙන, ලිංගික ශ්‍රමය ලබා දීම නීතිමය රැකවරණයක් සහිතව සිදුකළ හැකි මට්ටම ගෙන එන පරිදි මේ පරණ නීති වෙනස් කරන එක.

(ෆේස්බුක්හි තබන ලද සටහනකි.)

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.