සංවර්ධනය පිළිබඳ ධනේශ්වර, සමාජවාදී සම්මුතියක්

SDGs in Sinhala
Share this on Social Media

අජිත් පැරකුම් ජයසිංහ

අප හැම කෙනෙකුම සංවර්ධනයට කැමතිය. සංවර්ධනය යනු කුමක්ද? එය භෞතික සංවර්ධනය පමණක්ද? භෞතික සංවර්ධනය යනු අධිවේගී මාර්ග, වරාය නගර, නෙළුම් කුලුනු ආදියෙන් සංකේතවත් වන ක්‍රියාවලියද? එවැනි සංවර්ධනයන් සිදුවූ පමණින් සමස්තයක් ලෙස ජනතාවගේ ජීවන ගුණය සංවර්ධනය වෙනවාද? ලිපියෙහි අරමුණ වන්නේ, සංවර්ධනය සම්බන්ධ දැක්ම පිළිබඳ සංවාදයක් ගොඩනැගීමයි.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සංවර්ධන මූලෝපායන් තෝරාගැනීමේදී ධනවාදය විසින් යෝජනා කරනු ලබන්නේ ගෝලීය නිෂ්පාදන හා සේවා දාමයන් සමග මැනවින් සම්බන්ධ වීමයි. එහිදී නිදහස් වෙළඳාම, ව්‍යාපාර කිරීමේ පහසුව, ජාත්‍යන්තර හවුල්කාරීත්වයන්, ආයෝජන, තාක්ෂණය, රාජ්‍ය මූල්‍ය විනය, පෞද්ගලික අංශය, ශ්‍රම බලකායේ කාර්යක්ෂමතාව ආදිය අතිශය වැදගත් වේ.

එම මූලෝපාය අනුව ශ්‍රී ලංකාවට මේ මොහොතේදී විදේශ ආයෝජකයන් සමග හවුල්කාරීත්වයන් ඉතා වැදගත් වේ. චීනය සමග වරාය නගර හවුල්කාරීත්වය ද, ඉන්දියාව සමග ත්‍රිකුණාමලේ තෙල් ටැංකි සංවර්ධනය කිරීම සම්බන්ධ හවුල්කාරීත්වය ද, ඇමරිකාවේ නිව් ෆෝට්‍රස් සමාගම සමග යුගදනවි විදුලි බලාගාරයේ 40%ක කොටස් සහ කොළඹ, වෙරළට ඔබ්බෙන් නව එල්එන්ජී පර්යන්තයක් සංවර්ධනය කිරීමේ ආයෝජනය සඳහා  පිළිබඳ ගිවිසුම ද වත්මන් ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවට වැදගත් වන්නේ එම සංදර්භය තුළයි. ශ්‍රී ලංකාවේ ප්‍රධාන වෙළඳ හවුල්කරුවන් වන, යුරෝපා සංගමය, ජපානය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, බ්‍රිතාන්‍යය, රුසියාව, පකිස්තානය, බංග්ලාදේශය, මාලදිවයින වැනි රටවලට ද ශ්‍රී ලංකාව සම්බන්ධ අභිලාෂයන් තිබේ. ඒවා ද ලංකාවට ඉතා වැදගත්ය.

යුදමය හා ජාත්‍යන්තර වෙළඳාම පැත්තෙන් මූලෝපායික මධ්‍යස්ථානයක පිහිටි රටක් වන ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉහත දක්වන ලද රටවල් හා තවත් රටවල් අතර තරගකාරීත්වයක් තිබේ. ශ්‍රී ලංකාවේ දේශපාලනයට, ආර්ථිකයට හා සමාජයට බලපෑම් කිරීමේ හැකියාව ඉහළ නංවාගැනීම ඔවුන්ගේ අපේක්ෂාවයි. එය ශ්‍රී ලංකාවට වාසි අවාසි දෙකම සහිත තත්වයකි. ශ්‍රී ලංකාවේ ධනවාදී ආණ්ඩුවල මූලෝපායන් තීරණය වන්නේ එම බල සම්බන්ධතාවල ස්වභාවය අනුවයි.

ඒ අනුව, කලින් කලට ලංකාව විවිධ බලවතුන් දෙසට දෝලනය වන ආකාරයක් දක්නට ලැබේ. එහිදී බොහෝවිට සිදුවී තිබෙන්නේ එක් රටක් උදව් කිරීමට අදිමදි කරන විට වෙනත් රටක් වෙත ගොස් උදව් ලබාගැනීමයි. අලුත්ම තත්වය නම්, ලංකාවේ හොඳම හිතවතා බවට ඉන්දියාව පත්වීමයි. ඉන්දියාවේ මැදිහත් වීමේ තීව්‍රතාවට සාපේක්ෂව චීනය ද මැදිහත් වේ. ශ්‍රී ලංකාවේ ආර්ථිකය මේ වන විට තිබෙන්නේ ජාත්‍යන්තර ආධාර නොමැතිව පැවතිය නොහැකි මට්ටමකය.

නුදුරු අනාගතයේදී ශ්‍රී ලංකාව ඇමරිකා එක්සත් ජනපදයට, යුරෝපා සංගමයට හෝ ජපානයට වඩා සමීප වන්නට මෙන්ම, බටහිර ආර්ථික මූලෝපායන් සමග අනුගත වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යන්නට ද ඉඩ තිබේ.

අර්බුදයේ පැතිකඩ

ශ්‍රී ලංකාවේ අර්බුදයේ පැතිකඩ දෙකකි. එක් පැත්තකින් රාජ්‍ය මූල්‍ය අර්බුදයකි. රජයට ආදායම් හා වියදම් තුලනය කරගැනීමේ ගැටලුවක් තිබේ. රාජ්‍ය ණය ආපසු ගෙවීමට යන වියදම හා රාජ්‍ය අංශය නඩත්තු කිරීමට යන වියදම එහිදී ප්‍රධාන ගැටලු වී තිබේ. අනෙක් අර්බුදය වන්නේ වෙළඳ ශේෂ අර්බුදය හෙවත් අවශ්‍ය ආනයන සිදුකිරීමට තරම් විදේශ ආදායම් ප්‍රමාණවත් නොවීමයි. මෙහිදී විදේශ ආදායම් ප්‍රමාණවත් නොවන්නේ ආනයන සිදුකිරීමට පමණක් නොවේ. රජයේ ණය ගෙවීමට ද අතිවිශාල විදේශ විනිමය ප්‍රමාණයක් අවශ්‍යය. 2022 වසරේදී පමණක් ඒ සඳහා ඩොලර් බිලියන හතකට වඩා අවශ්‍යය.

මෙම පසුබිම තුළ ශ්‍රී ලංකාවේ බලාපොරොත්තු දල්වන තත්වයක් ද නිර්මාණය වී තිබෙනු දැකිය හැකිය. ඒ සංචාරක කර්මාන්තයේ ඇතිවී තිබෙන නවෝදයයි. 2022 වසරේදී සංචාරක කර්මාන්තයෙන් ලැබෙන ආදායම මෙන්ම, විදේශ ශ්‍රමිකයන්ගෙන් ලැබෙන ප්‍රේෂණ හා ඍජු විදේශ ආයෝජන ද ඉහළ නංවාගෙන ආර්ථික අර්බුදයෙන් යම් දුරකට ගොඩඒමට හැකි වේ යයි ආණ්ඩුව බලාපොරොත්තු තබා තිබේ. කෙසේ වෙතත්, ආනයන සීමා, බලශක්ති අර්බුදය, භාණ්ඩ හිඟය, ආහාර සුරක්ෂිතභාවයේ ගැටලු ආදිය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකායටත්, නිෂ්පාදන, සේවා හා අපනයනවලට සිදුවන බලපෑම අතිමහත්ය. සියලු බලාපොරොත්තුවල මග අවුරන බාධක බවට පත්වීමේ හැකියාව ඒවාට තිබේ. වසංගතය ද තවම අවසන් වී නැත.

ඉහත විස්තර කරන ලද ධනවාදී ආර්ථික මූලෝපායට විකල්පයක් තිබේද? ජාතික ආර්ථිකය, ජාතික සම්පත් රැකගැනීම, විදේශ ආර්ථික ආක්‍රමණ පිටුදැකීම වැනි ජනප්‍රිය ජාතිකවාදී අදහස්වලින් විසඳුම් නිර්මාණය කළ හැකිද? පසුගියදා ජාතික ජන බලවේගය විසින් එළිදක්වන ලද අර්බුදය ජයගැනීමට කඩිනම් ප්‍රවේශයක් ප්‍රතිපත්ති ප්‍රකාශනය විසින් යෝජනා කරනු ලබන්නේ ධනවාදී මූලෝපායේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී මානුෂිකකරණයකි. එහෙත්, හරයාත්මක වශයෙන් ධනේශ්වර නොවන වෙනත් ‘සමාජවාදී’ විකල්පයක් අපට තිබේද?

එවැනි විකල්ප ගවේෂණය කරන්නට නම්, පළමුකොටම අප වත්මනෙහි සිරවී සිටින ධනේශ්වර චින්තන රාමුවෙන් ගැලවිය යුතුය. සංවර්ධනය පිළිබඳ අපගේ චින්තනය ධනවාදයෙන් ගලවා නොගෙන සමාජවාදී විකල්ප පරිකල්පනය කිරීමට බැරිය. එසේම, ජාතිකවාදය යනු කිසිසේත්ම සමාජවාදී සංකල්පයක් නොවන බව ද අවබෝධ කරගත යුතුය.

ධනේශ්වර සංවර්ධනය අවශ්‍යද යන්න පිළිබඳ එඩිතර තීරණයක් සමාජවාදීන්ට තිබිය යුතුය. ඒ අනුව, සංවර්ධනය සම්බන්ධයෙන් නව අර්ථ නිරූපණයක් ද සමාජවාදීන් විසින් නිර්මාණය කරගත යුතුව තිබේ.

ලංකාව සම්බන්ධයෙන් නම් සරල තීරණ කීපයක් වැදගත් වනු ඇත. අපට තවදුරටත් අධිවේගී මාර්ගවලින් සංකේතවත් කරන ආකාරයේ මෙගා සංවර්ධනයක් අවශ්‍යද? ලංකාවේ ජනයා දිගින් දිගටම ධනවාදී කැමැත්ත නිෂ්පාදනය කිරීමේ යාන්ත්‍රණයන් විසින් නිර්මාණය කරනු ලබන පාරිභෝජනවාදී බහුභාණ්ඩකරණයේ ගොදුරු බවට පත්විය යුතුද? අල්පේච්ඡතාව, බුද්ධිමත් පරිභෝජනය සහ පරිසරය සුරකින, ආහාර සුරක්ෂිතභාවය හා නීරෝගී දිවිපැවැත්ම කෙරෙහි යොමුවූ, තිරසර, මන්දගාමී සංවර්ධනයක මාවත තෝරාගන්නට සමාජවාදීන් සූදානම්ද?

සමාජවාදය යනු කුමක්ද?

සමාජවාදය පිළිබඳ සාමාන්‍ය අර්ථදැක්වීම මෙවැනි එකකි: සමාජවාදය යනු නිෂ්පාදනය, බෙදාහැරීම හා හුවමාරු කරගැනීම සිදුකරන සමාජ සංවිධානය සමස්තයක් ලෙස ප්‍රජාවට හිමි හා ප්‍රජාව විසින් නියාමනය කරනු ලබන එකක් විය යුතු බව ඉදිරිපත් කරන දේශපාලන හා ආර්ථික න්‍යායයි. එහිදී බොහෝදුරට දේපළ හා ස්වාභාවික සම්පත් මත පෞද්ගලික හිමිකාරීත්වයට හා පාලනයට වඩා පොදු අයිතිය හා පාලනය කෙරෙහි අවධානය යොමුකරයි. පුද්ගලයන් හුදකලා සත්වයන් නොවන බව ද, ඔවුන් සමාජයේ පාර්ශ්වකරුවන් බව ද, මිනිසුන් විසින් කරනු ලබන සෑම නිෂ්පාදනයක්ම යම් ආකාරයක සමාජ නිෂ්පාදනයක් බව ද, එම නිෂ්පාදනයට දායක වන සියලුදෙනාට එය බෙදාහදාගැනීමේ අයිතියක් තිබෙන බව ද එයින් කියැවේ. (මෙම අර්ථදැක්වීම සඳහා මාක්ස්වාදය වැනි දර්ශනයක ආභාසය තිබිය හැකිය. එහෙත්, සාමාන්‍ය අර්ථදැක්වීම් නිශ්චිත දෘෂ්ටිවාදයක් මත පදනම් වන්නේ නැත.)

මෙනයින් බැලූ කල සමාජවාදය බැලූ බැලුමට ධනවාදයට එරෙහි දැක්මක් ලෙස පෙනීයයි. ධනවාදය පදනම් වන්නේ නිෂ්පාදන මාධ්‍යවල පෞද්ගලික හිමිකාරීත්වය, නිදහස් වෙළඳාම හා පුද්ගල තෝරාගැනීම් මතයි. ධනවාදයට තිබෙන ප්‍රධාන විරෝධය වන්නේ එමගින් අසාධාරණය, සූරාකෑම හා ධනය හා බලය ධනවතුන් අතළොස්සක් අත සංකේන්ද්‍රණය කිරීම සිදුවන බවයි. එම ධනය හා බලය ඉන්පසු භාවිතා කරනු ලබන්නේ සමාජය මත ධනවතුන්ගේ හා බලවතුන්ගේ ආධිපත්‍යය පවත්වාගැනීමටයි.

සමාජවාදය පිළිබඳ සංකල්පය ඉදිරියට පැමිණියේ කාර්මික විප්ලවය සමයේ වුවත්, එහි මූලාරම්භය බොහෝ ඈත අතීතයට විහිදෙයි.

ලොව කිසිදු රාජ්‍යයක් තමන් ධනවාදී යයි පිළිගන්නේ නැත. ශ්‍රී ලංකාවේ රාජ්‍ය නාමය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයයි. ලොව කිසිදු රටක් තම රාජ්‍ය නාමයට ධනවාදී රාජ්‍යයකැයි එකතු කරගෙන නැත. සත්තකින්ම පරම ධනවාදයක් ලොව කොහේවත් ඇත්තේ ද නැත. පරම සමාජවාදය ද නොපවතින්නකි. ලෝකයේ පවතින රාජ්‍යයන් හා සමාජයන් තුළ ධනවාදී මෙන්ම සමාජවාදී ලක්ෂණ ද අඩු වැඩි වශයෙන් දැකිය හැකිය.

සමාජවාදය හා රාජ්‍ය ධනවාදය

නිෂ්පාදනය, බෙදාහැරීම හා හුවමාරු කරගැනීම සිදුකරන සමාජ සංවිධානය රජය යටතට පත්වූ පමණින් එය සමාජවාදයක් වන්නේ නැත. එයට මූලික හේතුව වන්නේ රජයට ද හිමිකාරයින් බිහිවීමයි. උදාහරණයක් ලෙස ශ්‍රී ලංකාවේ අතිවිශාල රාජ්‍ය ව්‍යූහයක් තිබේ. එහි අයිතිය තිබෙන්නේ මහජනතාවට යයි පිළිගැනීමක් තිබේ. එහෙත් එය ඇත්තක්ද? රජයෙන් වැටුප් හා වරප්‍රසාද ලබන රජයේ නිලධාරීන් හට රජයේ වැඩි අයිතියක් ඇති බව ඉතා පැහැදිලිය. රජය මෙහෙයවීම සිදුකරන ආණ්ඩුව යම් නිශ්චිත කාලයකට වරක් මැතිවරණ මගින් මහජන ඡන්දයෙන් තෝරා පත්කරගනු ලැබේ. එහෙත්, රාජ්‍ය ව්‍යූහය පත්කරගනු ලබන්නේ මහජන ඡන්දයෙන් නොවේ. රජයට අයත් ව්‍යවසායවල නිලධාරීන් ද ඇතුළු සමස්ත රාජ්‍ය නිලධාරින් සංඛ්‍යාව ලක්ෂ 16ක් පමණ වේ. ආණ්ඩුව යයි සැලකිය හැකි බලවේගය වැඩිම වුණොත්, ජනාධිපති, අගමැතිගේ සිට පළාත් සභා හරහා ප්‍රාදේශීය සභා සභාපති හා මන්ත්‍රී දක්වා 5,000කට අඩු පිරිසකි.

ඡන්දයෙන් තේරී පත්වීම ද වර්තමානයේ සිදුකළ හැක්කේ ධනය හා බලය හිමි පිරිසකට පමණි. එනයින් ගත්කල ලංකාවේ පවත්නා ක්‍රමය සමාජවාදයක් නොවේ. එහෙත්, සමාජවාදී මූලධර්ම මත පදනම් වූ අධ්‍යාපනය, සෞඛ්‍යය, සුබසාධනය, සමුපකාර ආදී පද්ධති ද ශ්‍රී ලංකාවේ තිබේ. ලොව බොහෝ රටවල තත්වය ද ඒ හා සමානය.

ලෝකයේ රාජ්‍යවල පවතින සමාජ ක්‍රම සමාජවාදී හා ධනවාදී ප්‍රතිපත්තිවල සම්මිශ්‍රණයක් ලෙස සැලකිය හැකිය. සමාජ විෂමතා අවම කිරීමටත්, පුද්ගලයන් අත ධනය හා බලය සංකේන්ද්‍රණය වීම පාලනය කිරීමටත්, තීරණ ගන්නා ආකාරය ප්‍රජාතාන්ත්‍රික කිරීමටත්, මහජන නියෝජනය විධිමත් කිරීමටත් ලොව දියුණු රාජ්‍ය නිරන්තර අවධානය යොමුකරයි. එහි ප්‍රතිඵලයක් ලෙස දියුණු ධනේශ්වර රාජ්‍යවල ජීවත්වන ජනතාවට වඩාත් සාධාරණ ජීවන තත්වයක් හිමිවී තිබේ. එය සමානාත්මතාවාදය හෙවත් ඉගලිටරියනිස්ම් ලෙස හැඳින්වෙන සියලු මිනිසුන් සමානය යන මූලධර්මය මත පදනම් වන්නකි.

තිරසර සංවර්ධනය

1848දී කාල් මාක්ස් හා එංගල්ස් විසින් සම්පාදනය කරන ලද කොමියුනිස්ට් පක්ෂයේ වැඩපිළිවෙලෙහි සංවර්ධනය සම්බන්ධයෙන් මෙසේ දැක්වේ: “සෑම පුද්ගලයකුගේම නිදහස් සංවර්ධනය සඳහා අවශ්‍ය වන මූලික කොන්දේසිය වන්නේ සියලුදෙනාගේ නිදහස් සංවර්ධනයයි.”

ධනවාදය හා සමාජවාදය අතර සංවාදය පැත්තකින් තැබුවහොත්, ලෝකයේ පවත්නා රාජ්‍ය විසින් සාකච්ඡා කර ජාත්‍යන්තර ප්‍රභූ බුද්ධිමතුන්ගේ බලපෑමෙන් සම්පාදනය කර, සියලු සාමාජික රාජ්‍යවල එකඟතාව ලබාගන්නා ලද තිරසර සංවර්ධන අරමුණු යම් දුරකට සංවර්ධනය පිළිබඳ පොදු සම්මුතියක් ලෙස සැලකීමේ වරදක් නැත.

ලංකාවට අවශ්‍ය වන්නේ ලෝකෙටම ණයවී ඉදිකර සංදර්ශනාත්මකව ප්‍රදර්ශනය කරනු ලබන නෙළුම් කුළුණ පන්නයේ මෙගා සංවර්ධන ව්‍යාපෘතිද, නැතිනම්, තිරසර සංවර්ධන මූලෝපායක්ද?

තිරසර සංවර්ධන අරමුණු කෙරෙහි අපි නැවත අවධානය යොමු කළ යුතුයි කියා මා සිතනවා. එක්සත් ජාතීන්ගේ සාමාජික රාජ්‍ය විසින් 2030දී සාක්ෂාත් කරගත යුතු සංවර්ධන අරමුණු 17ක් සම්මත කරගත්තේ 2017 වර්ෂයේදීයි. මෙය ලෝකයේ රාජ්‍ය විසින් සංවර්ධනය සම්බන්ධයෙන් ගන්නා ලද ඉතා වැදගත් තීන්දුවක් ලෙස සැලකිය හැකියි. ලෝකය වර්තමානයේදී පිළිගන්නා සංවර්ධනය පිළිබඳ සාධාරණ දැක්මක් එහි අඩංගු වෙනවා. එය සමාජවාදී ප්‍රතිපත්තියක් ලෙස අර්ථකථනය කිරීම පවා නිවැරදියි.

2017 අංක 19 දරන ශ්‍රී ලංකා තිරසර සංවර්ධන පනත විසින් “තිරසරභාවය” යන්නෙන් අදහස් කරන්නේ, “යම් දෙයක්, ක්‍රියාවක්, ක්‍රියාකාරකමක් හෝ ක්‍රියාවලියක් අඛණ්ඩව පවත්වාගෙන යාමේ හැකියාවයි.”

“තිරසර සංවර්ධනය˜ යන්නෙන්, “අනාගත පරපුරේ අවශ්‍යතාවන් සපුරාලීමේ හැකියාවට අවදානමක් ඇති නොවන පරිදි වර්තමාන පරපුරේ අවශ්‍යතා සපුරාලන සංවර්ධනය” අදහස් වේ.

ශ්‍රී ලංකාව වර්තමානයේදී මුහුණදී සිටින ආර්ථික අර්බුදය හමුවේ සංවර්ධනය නැවත නිර්වචනය කරගැනීමේදී අපේ අවධානය යොමුවිය යුතුව තිබෙන්නේ තිරසර සංවර්ධන අරමුණු කෙරෙහියි.

වසර 2000දී එවකට එක්සත් ජාතීන්ගේ සාමාජිකත්වය දැරූ රාජ්‍යයන් 189ක් නියෝජිතයන් රැස් වී ඉදිරි වසර 15ක් තුළ ළඟා කර ගත යුතු බවට එකඟ වූ  ගෝලීය සංවර්ධනය අරමුණු අට සහශ්‍ර‍ක සංවර්ධන අරමුණු නම් වේ. ඒවා මෙසේ ය:

  1. දිළිදුකම සහ සාගින්න පිටුදැකීම
  2. සැමට ප්‍රාථමික අධ්‍යාපනය
  3. ස්ත්‍රී පුරුෂ සමානත්වය
  4. ළමා සෞඛ්‍යය
  5. මාතෘ සෞඛ්‍යය
  6. ඒඩ්ස් පැතිරීම වැලැක්වීම
  7. තිරසර සංවර්ධන ප්‍රතිපත්ති හරහා ස්වභාවික සම්පත් රැකගැනීම
  8. සංවර්ධනය උදෙසා ලෝක ව්‍යාප්ත සහභාගිත්වය

සහශ්‍ර‍ක සංවර්ධන අරමුණු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රටවලට සංවර්ධනය සඳහා ක්‍රියාරාමුවක් සපයන ලදී. එම ඉලක්ක සාක්ෂාත් කර ගැනීම සඳහා ලෝකයේ රටවල් විසින් දරන ලද ප්‍ර‍යත්න හේතුවෙන් දැවැන්ත ආර්ථික හා සමාජ සංවර්ධනයක් සිදු විය. දිළිඳුකම, සාගින්න, ස්ත්‍රී පුරුෂ විෂමතා පිටුදැකීම, ජලය හා සනීපාරක්ෂාව වෙත ප්‍රවේශය වැඩිදියුණු කිරීම සහශ්‍ර‍ක සංවර්ධන ඉලක්කවල මූලික අරමුණ විය. 2015 සැප්තැම්බර් 30දායින් සහශ්‍ර‍ක සංවර්ධන ඉලක්ක සඳහා කාලය අවසන් විය.

ලෝකයේ රාජ්‍ය විසින් සහශ්‍ර‍ක සංවර්ධන ඉලක්ක සම්බන්ධයෙන් සිය ප්‍ර‍ගතිය විශ්ලේෂණය කරන ලදී. ප්‍ර‍ගතියක් අත් කරගෙන තිබුණ ද කළ යුතු තව බොහෝ දේ තිබිණි. 

වසර 2015 වන විට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකයන් වූ රාජ්‍යයන් 193ක නියෝජිතයන් රැස් වී ඊළඟ වසර 15 තුළදී සාක්ෂාත් කර ගත යුතු අරමුණු මොනවාදැයි සාකච්ඡා කර ගෝලීය අරමුණු 17ක් හඳුනා ගන්නා ලදී. ධරණීය හෙවත් තිරසර සංවර්ධන අරමුණු නම් වන මෙම අරමුණු 17 එක්සත් ජාතීන්ගේ සියලු සාමාජික රාජ්‍ය විසින් අනුමත කරන ලදී.  

තිරසර සංවර්ධන අරමුණුවලින් අපේක්ෂා කරන්නේ සහශ්‍ර‍ක සංවර්ධන ඉලක්කවලින් ඔබ්බට ගොස් දිළිඳුභාවයේ මූලික හේතු හඳුනාගැනීම හා සියලු ජනතාවන්ට සරිලන සංවර්ධනයක් වෙනුවෙන් වන විශ්වීය අවශ්‍යතාව ආමන්ත්‍ර‍ණය කිරීමයි.

එම තිරසර සංවර්ධන අරමුණු 17 මෙසේ ය:

1. සෑම තැනක ම ඇති සෑම ආකාරයක ම දිළිඳුකම දුරලීම – 2012 වන විට ශ්‍රී ලංකාවේ දරිද්‍ර‍තාව 6.7%කි. මෙය 2006/07 වන විට 15.2%ක මට්ටමේ පැවතිණි. එහෙත්, තවමත් දිස්ත්‍රික් හතක ම ජනතාවගෙන් 10%කට වඩා දිළින්දෝ වෙති.  එම දිස්ත්‍රික්ක හත වන්නේ රත්නපුර, බදුල්ල, කිලිනොච්චිය, මඩකලපුව, මන්නාරම, මොනරාගන සහ මුලතිවු ය.

2. සාගින්න දුරලා ආහාර සුරක්ෂිතභාවය ඇති කිරීම, පෝෂණය වැඩිදියුණු කිරීම සහ තිරසර කෘෂිකර්මාන්තයක් ප්‍රවර්ධනය කිරීම – ආහාර වේලකින් පමණක් සාගින්න නැති වන්නේ නැත. පෝෂණය ද වැදගත් ය.

3. සෑම වයසකදී ම සෞඛ්‍ය සම්පන්න හා හොඳ ජීවිතයක් ප්‍ර‍ර්ධනය කිරීම – ලොව පුරා ම මාතෘ මරණ අවම කළ යුතු ය. 2030 වන විට ඒඩ්ස් වසංගතය දුරලිය යුතු ය.

4. කාටත් පිවිසිය හැකි සාධාරණ, ගුණාත්මක අධ්‍යාපනයක් හා ජීවිත කාලය පුරා ම අධ්‍යාපනය ලබා ගැනීමට සැමට තිබෙන අයිතිය ප්‍ර‍වර්ධනය කිරීම – ලොව පුරා තරුණයන් කෝටි 10කට වඩා ලියන්නට කියවන්නට නො දනිති. ඒ අතරින් වැඩි පිරිස ස්ත්‍රීහු වෙති.

5. ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව තහවුරු කිරීම හා සියලු කාන්තාවන් හා ගැහැනු ළමයින් ශක්තිමත් කිරීම – කාන්තාව පිරිමියාට වඩා දිළිඳුභාවයට, නූගත්කමට හා ලිංගික සූරාකෑමට ලක් වීමේ අවදානමට පත් වෙති. කාන්තාවන්ට, ගැහැනු ළමයින්ට එරෙහි සියලු අසාධාරණ පිටු දැකිය යුතු ය.

6. සැමට ජලය හා සනීපාරක්ෂාව තහවුරු කිරීම හා ඒවා චිරස්ථායී ලෙස කළමනාකරණය

7. සැමට පහසුවෙන්, විශ්වාසදායී ලෙස හා ස්ථාවර ලෙස නවීන බලශක්ති වෙත ප්‍රවේශය ලබා දීම 

8. යහපත් ගුණාංග ඇතුළත් කර ගත්, තිරසර ආර්ථික වර්ධනයක් ප්‍ර‍වර්ධනය කිරීම. සියලු දෙනාට පූර්ණ රැකියා නියුක්තිය හා මනා වැඩ අවස්ථා – වැඩි වන තරුණ ජනගහණයට මනා රැකියා, අධ්‍යාපනය හා ආයෝජන අවස්ථා තිබිය යුතු ය.

9. අවශ්‍යතාවන්ට හැඩගැසිය හැකි අන්දමින් යටිතල පහසුකම් ගොඩනැගීම. යහපත් ගුණාංග ඇතුළත් කරගත්, නිර්මානශීලිත්වයට ඉඩ සලසන තිරසර කර්මාන්තකරණයක් ප්‍ර‍ර්ධනය කිරීම.

10. රටවල් තුළ හා රටවල් අතර අසමානතා අවම කිරීම  –  ආර්ථික වර්ධනයෙන් පමණක් දිළිඳුකම දුරලිය නො හැකි ය. එය කළ හැක්කේ සියලු දෙනා අන්තර්ග්‍ර‍හනය කරගන්නා ආර්ථික වර්ධනයක් ඔස්සේ ය.

11. නගර හා මානව ජනාවාස මිනිසුන්ට හිතකර, ආරක්ෂිත, අවශ්‍යතාවන්ට හැඩගැසිය හැකි, තිරසර තැන් බවට පත් කිරීම – ලෝක ජනගහණයෙන් අඩකට වඩා ජීවත් වන්නේ නගරවල ය. නගරවල ජීවත් වන සියලු ජනයාට සෞඛ්‍යසම්පන්න, සුවපහසු ජීවිතයක් උරුම කර දිය යුතු ය.

12. තිරසර පාරිභෝජනය හා නිෂ්පාදනය තහවුරු කිරීම 

13. දේශගුණික විපර්යාස හා එහි බලපෑම් අවම කිරීමට කඩිනම් ක්‍රියාමාර්ග ගැනීම – වැඩි වන ලෝක ජනගහණය පාරිසරික විනාශයට ඉවහල් නො විය යුතු ය. හරිතාගාර වායු විමෝචනය අවම කර ගනිමින් දේශගුණික විපර්යාස වළක්වා ගත යුතු ය.

 14. තිරසර සංවර්ධනය සදහා ඉවහල් වන පරිදි මුහුද හා සාමුද්‍රික සම්පත් සුරක්ෂා කිරීම හා දරා ගත හැකි අන්දමින් පරිහරණය කිරීම.

15. විශ්ව පාරිසරික පද්ධතිය සුරක්ෂා කිරීම, ප්‍ර‍තිෂ්ඨාපනය කිරීම හා දරා ගත හැකි අන්දමින් පරිහරණය කිරීම ප්‍ර‍වර්ධනය කිරීම. වනාන්තර තිරසර ලෙස කළමනාකරණය. භූමිය හා ජෛව විවිධත්වය විනාශ වීම නැවැත්වීම.

16. තිරසර සංවර්ධනය සඳහා සාමකාමී හා සහභාගී සමාජයන් ප්‍ර‍ර්ධනය කිරීම. සැමට යුක්තිය ලබා දීම. සෑම මට්ටමකදී ම කාර්යක්ෂම, වගවීමක් ඇති, සහභාගී ආයතන ගොඩනැගීම – යුක්තිය හා නීතියේ ආධිපත්‍යය සංවර්ධනය සඳහා අත්‍යවශ්‍ය ය.

17. තිරසර සංවර්ධනය ක්‍රියාත්මක කිරීම හා ඒ වෙනුවෙන් වන ගෝලීය සහභාගිත්වය පණගැන්වීම සදහා අවශ්‍ය ක්‍රියාමාර්ග ශක්තිමත් කිරීම – ඉහළ ගුණාත්මක තත්වයේ, කාලීන, විශ්වාසවන්ත දත්ත සංවර්ධනයේදී ඉතා වැදගත් ය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.