මෙය ධනවාදයේ නොව සමාජවාදයේ අර්බුදයකි

Marxists
Share this on Social Media

සී.ජේ. අමරතුංග

ශ්‍රී ලංකාව බරපතළ ආර්ථික අර්බුදයකට මුහුණ දී ඇති බව දැන් ඉතා පැහැදිලි ය. එයින් ගොඩ යන මාවත් ගැන ද බොහෝ දෙනා කතා කරති. එහි දී අවධානය යොමු වන සහ යොමු විය යුතු කාරණයක් නම් මෙම අර්බුදය කුමක් ද යන්නයි. එනම් අර්බුදයේ හේතුව  කුමක් ද යන්න යි.

එක අතෙකින් මෙය පැහැදිලිව හේතු හඳුනාගත හැකි අර්බුදයකි. මෙය කාලයක් තිස්සේ විදෙස් සහ දේශීය ණය ලබා ගනිමින් ඵලදායී නොවන ලෙස වියදම් කිරීම නිසා ඇති වූ අර්බුදයකි. ඇත්තෙන් ම කිවහොත් විහින් ඇති කරගත් අර්බුදයකි. ඒ ගැන බොහෝ දෙනා  උදාහරණ සහිතව පෙන්වා දී තිබේ.

කෙසේ වෙතත්, මෙයට වෙනත් අර්ථකථන ලබාදීමටත්, එමගින් තම තමන්ගේ මතවාදී දෘෂ්ටි කෝණ සමග සමපාත වන විග්‍රහ ගොඩ නගා ගැනීමටත්,  ඇතැම් පිරිස් උත්සහ දරන බව පෙනෙන්නට තිබේ. බොහෝ විට එසේ කරන්නේ වත්මන් ආර්ථික අර්බුදය පිළිබඳ ප්‍රශ්නය තමන්ගේ දේශපාලන අරමුණු සමග බද්ධ කර ගැනීමේ උත්සහයක් වශයෙනි.

තම මතවාදයන්ට ගැලපෙන ලෙස අර්බුදය අර්ථ දක්වා ගැනීමට යාමේ දී බොහෝ විට සිදුවන්නේ සැබෑ යථාර්ථයට නොගැළපෙන විකෘති විග්‍රහයක් නිර්මාණය වීම යි. එවිට එබඳු පිරිස් පිළිතුරු සොයන්නේ සැබෑ ප්‍රශ්නයට නොව තමන් ඔලුවේ නිර්මාණය කරගත් ප්‍රශ්නයකට ය. ඉන්පසු එයට විසඳුම් යැයි තමන්ට හිතෙන දේ යෝජනා කරති. නමුත්, යථාර්ථයට පටහැනි නිසා ම ඒවා සාර්ථක වන්නේ  නැත. සිදුවන්නේ තමන්ගේ විග්‍රහයත්, තමන්ගේ දේශපාලනයත් සමග එබඳු ව්‍යාපාර තමන්ගේ කක්ෂය වටා කරකැවීම පමණකි.

ඒ ආකාරයේ ජනප්‍රිය විග්‍රහයක් මෙරට ඇතැම් වාමාංශික ව්‍යාපාර විසින් ඉදිරියට දමා ඇත. ඒ කවුදැයි කියන්නට හෝ ඔවුන් උපුටා දක්වන්නට මම මෙහි දී අදහස් නොකරමි. විග්‍රහය පමණක් ඉදිරිපත් කරමි. එවිට එය කාගේ ද, දේශපාලන පක්ෂ , කණ්ඩායම් කොපමණ ප්‍රමාණයක් එබඳු අදහස් ඉදිරිපත් කරන්නේ ද යන්න සොයා ගැනීම පාඨකයාට එතරම් අපහසු කරුණක් නොවනු ඇත.

එම විග්‍රහය නම් මෙසේ ය. මෙය ධනවාදයේ අර්බුදයකි.  එය විශේෂයෙන් 1977 න පසු මෙරට ක්‍රියාත්මක වූ (බව කියන) “ නව ලිබරල් “ ආර්ථික ප්‍රතිපත්තියේ අර්බුදයකි. 77 න් පසු මෙරට බලයට පත් සෑම ආණ්ඩුවක් ම ක්‍රියාත්මක කළේ එකී “නව ලිබරල් “ ලෙස හඳුන්වනු ලබන ආර්ථික ප්‍රතිපත්තිය යි. දැන් අර්බුදයට ගොස් ඇත්තේ එම ප්‍රතිපත්තිය යි. මෙම පිරිසගේ විග්‍රහය සාරාංශ ගත කළහොත් එබඳු ය.

එමෙන් ම, නව ලිබරල් ලෙස ඔවුන් හඳුන්වන ආර්ථික ක්‍රමයේ දුෂ්ට ලක්ෂණ ලෙස ඔවුන් හඳුනාගන්නා කරුණු ද වැදගත් ය. පළමුවැන්න රජය ආර්ථික කටයුතුවලින් ඉවත් වීමයි. රජයේ ආයෝජන සීමා කරමින් (නොකරමින් ) රජය කුඩා කිරීම යි. දෙවැන්න සුබසාධන කපා හැරීමයි. සහනාධාර අවශ්‍යම අයට සීමා කිරීම යි (සේෆ්ටි නෙට්). තෙවැන්න, වෙළෙඳපොළ නිදහස් කිරීමයි. එනම් රජයේ පාලනයෙන් වෙළෙඳපොළ නිදහස් කිරීම යි. මෙබඳු තවත් ලක්ෂණ මෙම ආර්ථික ප්‍රතිපත්තිය ට ඇත. ඒ සියල්ල සලකා බැලීම මෙම ලිපියේ අරමුණක් නොවේ.

මෙහි දී සැලකිල්ලට ගත යුතු කාරණයක් නම් ‘නව ලිබරල්වාදය’ යැයි දර්ශනයක් කිසිදු දාර්ශනිකයකු විසින් ඉදිරිපත් කොට නැති බවයි.  මෙම යෙදුම බහුලව යොදා ගැනෙන්නේ බ්‍රිතාන්‍යයේ මාග්‍රට් තැචර් 1979  සිට සහ ඇමෙරිකාවේ රොනල්ඩ් රේගන් 1981 සිට ක්‍රියාත්මක කළ ආර්ථික ප්‍රතිපත්ති හැඳින්වීමට යි. එම යෙදුම වැඩි වශයෙන් භාවිත කරන්නේ එම රටවල වාම ව්‍යාපාර විසිනි.

රේගන්ගේ සහ තැචර්ගේ ප්‍රතිපත්ති සඳහා ආර්ථික විද්‍යා න්‍යායික පදනම සපයන ලද්දේ ෆෙඩ්රික් වොන් හායෙක් සහ පසුව මිල්ටන් ෆ්‍රීඩ්මන් වැනි ආර්ථික විද්‍යාඥයින් ඉදිරිපත් කළ අදහස් වලිනි.

හායෙක්ගේ සහ ෆ්‍රීඩ්මන් ගේ අදහස් කොතරම් දුරකට සහ කොතරම් කාලයක් බ්‍රිතාන්‍යයේ සහ ඇමෙරිකාවේ ක්‍රියාත්මක වුයේ ද යන්න ප්‍රශ්නයක් වුව ද , තැචර් සහ රේගන් සහ තවත් අය එම අදහස් වෙනුවෙන් පෙනී සිටිය හ. ක්‍රියාත්මක කළහ.

“නව ලිබරල්වාදය“ ලෙස හඳුන්වනු ලබන මෙම දර්ශනයට එරෙහිවන සහ එය දෝෂ දර්ශනයට ලක් කරන බොහෝ දෙනා එමගින් තමන් පක්ෂ වන්නේ කුමකට දැයි නොකියති.  ආර්ථික විද්‍යා ක්ෂේත්‍රයේ නම් විවාදය පවතින්නේ හායෙක්වාදය සහ කේන්ස්වාදය අතර ය. කේන්ස්වාදය යනු ජෝන් මේනාඩ් කේන්ස් ආර්ථික විද්‍යාඥයා ඉදිරිපත් කළ දර්ශනය යි. සමාජවාදය යනු සියල්ල රජයට පවරාගැනීම යැයි විශ්වාස කරන වාමාංශිකයන්ට යම් සහනයක් වන අදහස් කේන්ස්වාදය තුළ තිබිණි.

කේන්ස් ආර්ථික විද්‍යාවට කළ ප්‍රධාන දායකත්වය නම් රජයේ වියදම් වැඩි කිරීම මගින් ආර්ථික අර්බුද සමනය කිරීමේ හැකියාව පෙන්වා දීම යි. රජයේ වියදම් වැඩි කිරීම මගින් ආර්ථික වර්ධනය ඇතිකළ හැකි බවත් , රජය තමන් අතේ නැති මුදල් ණයට ගෙන වියදම් කළ යුතු බවත්, මෙම දර්ශනයෙන් නිර්දේශ කෙරිණි. එමෙන් ම රජයේ අයවැය ලේඛනවල අයවැය හිඟයක් පැවතීම යහපත් ය යන්න ද එම ආර්ථික විද්‍යාඥයාගේ අදහසකි.

හායෙක් කීවේ කේන්ස්ගේ අදහස් කිසිවෙකු වැරදි ලෙස භාවිත කළහොත් විශාල විනාශයක් සිදුවිය හැකි බවයි. එම අදහස විශේෂයෙන් වැදගත් වන්නේ අපගේ අර්බුදයට එය ඉතාමත් අදාළ වන නිසා ය.

1977න්  පසු මෙරට ක්‍රියාත්මක කළේ ‘නව ලිබරල්’ ආර්ථික ක්‍රමයක් ය යන නිගමනයට ඇතැම් වාමාංශිකයින් එළඹුණේ කරුණු ඇතුව ද නැතහොත්, ඇමෙරිකාවේ, බ්‍රිතාන්‍යයේ ක්‍රමයට එම රටවල කළ විවේචනය අනුකරණය කළා ද යන්න පැහැදිලි නැත. කෙසේ වෙතත්, ජේ ආර් සහ රොනී ද මෙල් ශ්‍රී ලංකාවේ ආර්ථිකය විවෘත කළේ රේගන්ට හෝ තැචර්ට කලින් ය. එමෙන් ම ඒ ආසන්න කාලයේ චීනය සහ වියට්නාමය ද වෙළෙඳපොළ විවෘත කළේ ය. අපේ වාමාංශිකයින් චීනයට හෝ වියට්නාමයට නව ලිබරල් කියන්නේ නැත. කිව යුතු ද නැත.

ජේ ආර් ට නව ලිබරල් කීමට ඇත්තේ හේතු දෙකක් හෝ තුනකි. පළමුවැන්න ආර්ථිකය විවෘත කිරීමයි. එය ද කළේ අර්ධ වශයෙනි. විශාල පාලනයක් තබා ගනිමිනි. දෙවැන්න ඇතැම් රාජ්‍ය ආයතන පෞද්ගලිකකරණය කිරීමයි. එය ද අර්ධ වශයෙනි. ආර්ථිකයේ ප්‍රධාන අංශ ඇතුළු රාජ්‍ය ආයතන 527 ක් අදටත් රජය යටතේ පවතින්නේ විශාල ලෙස පාඩු ලබමිනි. තෙවැන්න දුප්පතාට මෙන් ම සුපිරි ධනපතියාටත් නොමිලේ සහල් දුන් හාල් පොත අහෝසි කිරීමයි. ඒ එම රජය කළ එක ම සහනාධාර කප්පාදුව යැයි කිව හැකි ය.

ජේ ආර් ගේ 1977 රජය රොනී මෙල් මුදල් ඇමතිගේ අයවැය මගින් රාජ්‍ය ආයෝජන විශාල ලෙස වැඩි කළේ ය. මහවැලි ව්‍යාපාරය එම කාලයේ හැටියට දැවැන්ත ව්‍යාපාරයකි. එයට වියදම් කළේ අතේ නොතිබූ මුදල් ණයට ලබා ගනිමිනි. එය නව ලිබරල්වාදය නොව කේන්ස්වාදය යි. රොනී ගේ අයවැය ලේඛනවල තිබුණේ විශාල හිගයකි. එය ද නව ලිබරල්වාදය නොවේ.

රාජ්‍ය යාන්ත්‍රණය එම කාලයේ තවත් පුළුල් වීය. කෘෂි ක්ෂේත්‍රයේ , වාරිමාර්ග ක්ෂේත්‍රයේ එය කැපී නෙනෙන්නට තිබිණි. කුපනිස  ලෙස හඳුන්වන  කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර සේවය , වගා නිලධාරී සේවය ලෙස ආරම්භ කළේ එම කාලයේ ය. ආයෝජන මණ්ඩල වැනි ආයතන ලෙස ද රාජ්‍ය යන්ත්‍රය විශාල කෙරිණි.

මහජන සුබසාධන සේවා ලෙස අධ්‍යාපන, සෞඛ්‍ය, නිවාස යන ක්ෂේත්‍ර තුනෙහි ම රාජ්‍ය මැදිහත්වීමෙන් සංවර්ධනය කළේ ය. රුහුණු සහ යාපනය සරසවි ආරම්භ කිරීමෙන් පටන්ගෙන සෑම පළාතක ම සරසවි ඉදිකෙරිණි. අධ්‍යාපන පීඨ ක්‍රමය අලුතින් ම ඇතිකරන ලද්දකි. පාසල්වලට සපයන ලද පහසුකම් අපමණ ය.

කරාපිටිය, ජයවර්ධනපුර වැනි රෝහල් අලුතින් ඇතිකිරීම සහ පවතින රෝහල්වල පහසුකම් දියුණු කිරීම ද මෙම කාලයේ සිදු වී ය. මෙම කාලය තුළ එම ක්ෂේත්‍රයේ සංවර්ධනය ගැන තොරතුරු සැපයීම අවශ්‍ය වෙතැයි නොසිතමි.

අගමැති ආර් ප්‍රේමදාස දියත් කළ ගම් උදාව , නිවාස ලක්ෂය සහ පසුව නිවාස දස ලක්ෂය ද දැවැන්ත සහනාධාර ව්‍යාපෘතියකි.

පාසල් පොත් නොමිලේ දීම, පසුව නිල ඇඳුම් දීම, මෙන් ම උසස් අධ්‍යාපනයට මහපොළ ශිෂ්‍යත්වය ලබාදීම ද සහනාධාර වැඩ සටහන් නොවන්නේ ද? ජන සවිය ගැන කිව හැක්කේ කුමක් ද?

දැන් අපට තේරෙන්නේ කුමක් ද ? “ නව ලිබරල් “ ලෙස හඳුන්වන ක්‍රමයේ ඒ කියන ලක්ෂණ 1977න් පසු මෙරට ක්‍රියාත්මක ආර්ථික ක්‍රියාවලිය සමග කෙතෙක් දුරට ගැළපෙන්නේ ද? රජය කුඩා කිරීම, රාජ්‍ය ආයෝජන අඩුකිරීම , සහනාධාර කැපීම, ආදිය  සිදු වී තිබේ ද? නැතහොත් සිදු වී තිබෙන්නේ එයට ප්‍රතිවිරුද්ධ ක්‍රියාවලියක් ද ?

වත්මන් අර්බුදය ගැන කියවෙන දේ ගැන දැන් අපි බලමු. දැන් තිබෙන ප්‍රශ්නයේ ප්‍රධාන හේතුවක් නම් රජය අනවශ්‍ය දේ සඳහා විශාල ලෙස ණය ගෙන ආයෝජනය කිරීම යි. ඇත්ත වශයෙන් ම එය අදාළ වන්නේ 2006ට පසු කාලයට ය. හම්බන්තොට වරාය, මත්තල ගුවන් තොටුපළ, සුරියවැව ක්‍රීඩාංගනය, හම්බන්තොට ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව, නෙලුම් පොකුණ, නෙලුම් කුළුණ, ආදී බොහෝ වියදම් මේ ගණයට වැටෙයි. මේ ඇතැම් ව්‍යාපෘති අවශ්‍ය වුව ද , ඒ මේ මොහොතේ නොවේ . තව වසර 15 කට 20 කට පසුව විය හැකි ය. මෙලෙස අද අර්බුදයට හේතුව නව ලිබරල් වී රජය ආයෝජන නොකිරීම නොව රජය අනවශ්‍ය ආයෝජන කිරීම යි.

අද අර්බුදයේ තවත් හේතුවක් නම් අකාර්යක්ෂම රාජ්‍ය ආයතන යි. රාජ්‍ය ආයතන 527 ක් 2006 න් පසු ලබා ඇති පාඩුව රුපියල් බිලියන 1,200 ක් යැයි කියනු ලැබේ. අර්බුදයට හේතුව පෞද්ගලිකකරණය නොවේ. එසේ නොකිරීම යි.

පාලකයින් මෙම අර්බුදයට රට ගෙනගියේ “අපි ජාතික සම්පත් විකුණන්නේ නැතැ”යි ආඩම්බරයෙන් කියමින් මහජන මුදල් කාබාසිනියා කරමිනි. ඔවුන් දැක්කේ නැතහොත් ප්‍රකාශ කළේ  එය සමාජවාදය වශයෙනි.

රාජ්‍ය සේවය පුළුල් කරමින් එයට අනවශ්‍ය තරම් පිරිස් බඳවා ගැනීම අර්බුදයේ තවත් හේතුවකි. ව්‍යාජ සමාජවාදී මානසිකත්වයකට හැර එය කිසිම ආර්ථික න්‍යායකට එකඟ නැත.

ශ්‍රීලන්කන් ගුවන් සේවය වැනි විහින් දාගත් ලෙඩ ද මෙයට එකතු  කළ යුතු ය. ඇතැම් වාමාංශිකයින්ට ඒවා ද සමාජවාදී පියවරයන් ය.

මේ ගැන තවත් බොහෝ දේ කිව හැකි ය. කෙසේ වෙතත්, කරුණු තුනක් පමණක් අවධාරණය කරමින් නවතිමි.

පළමුවැන්න නම් නව ලිබරල් ලෙස හැඳින්විය හැකි ආර්ථික ප්‍රතිපත්තියක් මෙරට කිසි දා ක්‍රියාත්මක නොවූ බව යි. ක්‍රියාත්මක වී ඇත්තේ නව ලිබරල් නොවූ වඩා කේන්ස්වාදී යයි කිවහැකි ආර්ථික ක්‍රියාවලියකි.

දෙවැන්න, වත්මන් අර්බුදයේ හේතුව නව ලිබරල් වීම නොව අවශ්‍ය පමණට (අන්තවාදී නොවන ලෙස) නව ලිබරල් නොවීම යි. අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ පවා නොකිරීම යි.

තෙවැන්න නම්, වත්මන් අර්බුදයේ ප්‍රධාන හේතුව 1977 සිට ක්‍රියාත්මක කුමන හෝ ප්‍රතිපත්තියක් නොව 2006 සිට ක්‍රියාත්මක වූ පුහු සමාජවාදී පෙනුමකින් යුතු විනාශකාරී ප්‍රතිපත්තිය බව යි. පෙර කළ යුතුව තිබු ප්‍රතිසංස්කරණ නොකිරීම විනාශය අර්බුදය ඉක්මනින් උත්සන්න වීමට හේතු වී තිබේ.

එය කේන්ස්ගේ න්‍යාය වරදවා ක්‍රියාත්මක කිරීමක් ලෙස ද සැලකිය හැකි ය. නමුත් එය ඊට වඩා නිවැරදිව හැඳින්විය හැක්කේ බොරු ජාතිකවාදී සහ බොරු සමාජවාදී ප්‍රතිපත්තියක් වශයෙනි. එයට බොරු සමාජවාදී යයි කියන්නේ රාජ්‍ය අයිතිය සමාජවාදී ය යන ව්‍යාජ විශ්වාසය මත එය පදනම්ව තිබීම යන අර්ථයෙනි.

එක් ප්‍රතිචාරයක්


ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.