පුපුරාගිය ගෑස් අර්බුදයෙන් උගත හැකි පාඩම්

Share this on Social Media

සී.ජේ. අමරතුංග

ගෑස් ටැංකි පුපුරා යන බවට වාර්තා ඵල වන්නට වුයේ ගෑස් බියක් සහ ගෑස් හිගයක් ද ඇති කරමිනි. සමහරු කිවේ පුපුරන්නේ ලිප් බවයි. ඊළඟට ප්‍රශ්නය වුයේ හැමදාම තිබුණු ලිප් අලුත් ගෑස් ටැංකියක් ගෙනා විට පිපුරුවේ කොහොමද කියන එක ය. අන්තිමට ගෑස් සංයුතිය නිවැරදි කරන්නට සහ ප්‍රමිතියෙන් යුතුව ගෑස් ලබා දීමට සමාගම් එකඟ වී ය.

මෙහි දී පුපුරා ගොස් ඇත්තේ ගෑස් ටැංකි හෝ ලිප් හෝ පමණක් නොවේ. ඇතැම් දේශපාලන මතවාද ද පුපුරා ගොස් ඇත. ඇතැමුන්ට ඒ බව නොතේරෙනවා විය හැකිය. එහෙත් බොහෝ දෙනාට ඒවා තේරුම් ගන්නට වුවමනාවක් නැතිවා විය හැකි ය. බොහෝ විට එසේ වන්නේ තමන් විශ්වාස කරන ඇතැම් මතවාදයන් ද පුපුරා යාම ගැන තිබෙන බිය නිසා විය හැකි ය.

කෙසේ වෙතත්, එසේ පුපුරා ගිය ඇතැම් මතවාද ගැන සටහනක් තබන්නේ තේරුම් ගන්න අයගේ යහපත සඳහා ය. වැඩි දෙනෙක් මේවා තේරුම් ගන්නේ නම් එය රටට යහපතක් විය හැකි ය.

මෙරට ගෑස් වෙළෙඳපොල මේ වනවිට පවතින්නේ ඒකාධිකාරී තත්ත්වයක ය. එක විශාල සමාගමක් සහ කුඩා සමාගමක් වශයෙනි. එසේ වුව ද , කිසිවකු එම ඒකාධිකාරය ගැන වැඩි තැකීමක් කරන බවක් පෙනෙන්නට නැත. ඒ එය රජයේ සමාගමක් නිසා ය.

සමහරු සිතන්න රජයේ සමාගම් මහජනයාට යහපත් බව යි. එනිසා එකාධිකර වුව ද කමක් නැත. එය තිබෙන්නේ රජය යටතේ ය. පාලනය වන්නේ මහජනයා පත්කර යවන නියෝජිතයින්ගෙන් සමන්විත ආණ්ඩුව යටතේ ය. එනිසා වැරදි සිදුවන්නට ඉඩක් නැතැයි ඔවුහු කල්පනා කරති.

කෙසේ වෙතත්, එම විශ්වාසය දැන් පුපුරා ගොස් හමාරය. මේ අවස්ථාවේ ජනතාව අනතුරේ දැම්මේ රජයේ සමාගම යි. කාටත් හොරෙන් ගෑස් සංයුතිය වෙනස් කොට තිබු බව දැන් පැහැදිලි කරුණකි. එය හිතා මතා කළ තක්කඩි කමකි; වංචාවකි.

මෙවැනි ම තවත් වංචාවක් ද මේ ආසන්න කාලයේ මේ සමාගම කළේ ය. එනම් අඩුවෙන් ගෑස් පුරවා ගෑස් සිලින්ඩරයක් වෙළෙඳපොළට එවීමයි. එය ද අතේ මාට්ටු විය. ඒ ජනතාව සහ ජනමාධ්‍යය අවදියෙන් සිටීම නිසා ය.

මේවා කළ වුන් ගැන අදටත් හරි පරීක්ෂණයක් නැත. සියල්ල සිදුවන්නේ කළ වරද වසා වරදකරුවන් සඟවා සියල්ල යට ගසන්නට ය.

මෙසේ වන්නේ ඇයි? එයට හේතුව නම් මෙය රජයේ සමාගමක් වීමයි. එහි ඉහළ තනතුරුවලට පත්වන්නේ ආණ්ඩුවේ දේශපාලන ආධාරකරුවන් ය. ඔවුන් බොහෝ විට ඉටු කරන්නේ දේශපාලඥයන්ගේ අවශ්‍යතා ය. ඇතැම්විට ඒවා සිදුවන්නේ ඍජු උපදෙස් අනුව ය. එවිට කුමන වරදකට වුව ද , රජයෙන් ඔවුන්ට ආරක්ෂාව හිමි වෙයි. මහජනයා අනතුරට, වංචාවට  හා රැවටීමට ලක්වීම එලෙස සිදුවන්නේ මුක්තියක් යටතේ ය. ඒ රජයේ හැටි ය.

මෙම සමගම පෞද්ගලික අයිතිය යටතේ තිබුණා නම් තත්ත්වය කුමක් විය හැකි ද? කලින් මෙය තිබුණේ බහු ජාතික සමාගමකට ය. ෂෙල් ගෑස් සමාගමට ය.

එම තත්ත්වය තිබුණේ නම් මෙවැන්නක් සිදුවේද යන්න සිතා බැලිය යුතු කරුණකි. වරදක් කොට පැන යන්නට ඔවුන්ට රාජ්‍ය බලයක් නැත. ඔවුන්ට රැක ගන්නට කීර්ති නාමය කියා දෙයක් තිබිණි. ඔවුන්ගේ ව්‍යාපාරය රැඳී තිබෙන්නේ එම කීර්ති නාමය මත ය. ඔවුන් වැඩ කරන්නේ එම නාමය රැක ගන්නට ය. තමන්ගේ තාක්ෂණික වරදකින් යම් භාණ්ඩයක තත්ත්වය පිලිබඳ ප්‍රශ්නයක් මතුවුයේ නම් මෙබඳු සමාගම් තම නිෂ්පාදන ලක්ෂ ගණනින් ආපසු කැඳවූ අවස්ථා ඇත. ඔවුන්ගේ භාණ්ඩ අලෙවි වන්නේ තම සන්නාමය ගැන විශ්වාසය මත බව ඔවුහු දනිති.

ෂෙල් සමාගමට ගෑස් ව්‍යාපාරය පවරන්නට පෙර මෙරට තිබුණේ රජයේ ගෑස් සමාගමේ එකාධිකාරය යි. එකල ගෑස් ටැංකියක් ලබා ගැනීමට ලියාපදිංචි වී බලා සිටිය යුතු විය. ගෑස් උදුනක් මිල දී ගත් අයෙකුට එම ලදුපත සමග ගෑස් සමාගම වෙත යා යුතු වී ය. ලදුපතක් නැතිව ගෑස් ටැංකි ලබාගත නොහැකි ය. ලියාපදිංචි වී මාස කිහිපයකින් සමාගමෙන් ලැබෙන දැන්වීමකින් පසුව පමණක් ගෑස් ටැංකියක් නිකුත් කරනු ලැබී ය.

එකල නිකුත් කළ ගෑස් ටැංකිවල කට සීල් කිරීමක් ද සිදු කොට නොතිබිණි. බොහෝ ටැංකි මළ කා සහ තැලී ඇද වී තිබිණි. ටැංකි කටට ආරක්‍ෂිත වැස්මක් යෙදුවේ ෂෙල් සමාගම යි. හොඳ තත්ත්වයේ ටැංකි ලැබීමද සහතික වී ය. දැන් යලිත් එම තත්ත්වය දුර්වල වන බවක් පෙනෙන්නට ඇත.

ෂෙල් සමාගම එන විට බොහෝ දෙනා කතා කළ ප්‍රශ්නයක් වුයේ ඔවුන්ට ගෑස් සැපයුමේ ඒකාධිකාරය හිමිවීම යි. වසර පහකට එය සහතික කොට තිබිණි. බොහෝ දෙනා කිවේ ඒකාධිකාරය යටතේ ගෑස් මිල අධික ලෙස ඉහළ යනු ඇතැයි කියා ය.

කෙසේ වෙතත්, කරුණු සලකා බලන විට පෙනී යන්නේ ශ්‍රී ලංකාවට පැමිණි ෂෙල් ගෑස් සමාගම වෙළෙඳපොළ සඳහා තරඟයක යෙදුනු බව යි. වෙනත් ගෑස් සමාගම් නොමැතිව ඔවුන් තරග කළේ කා සමග දැයි කෙනෙකු ප්‍රශ්න කළ හැකිය. ඔවුන් තරග කළේ විදුලි උුන්, භූමිතෙල් උදුන් සහ දර ලිප් සමග ය.

එකල අලුතින් විවාපත්වන සාමාන්‍ය පන්තියේ යුවලක් බොහෝවිට ඇනෙක්සියක හෝ නිවසක පදිංචියට යන්නේ විදුලි උදුනක් හෝ භූමිතෙල් උදුනක් රැගෙන ය. එකල විවිධ මාදිලියේ විදුලි උදුන් සහ භූමිතෙල් උදුන් වෙළෙඳපොළේ තිබිණි. ෂෙල් ගෑස් සමාගම ඉන් බොහොමයක් අතුරුදහන් කර දැම්මේ ඔවුන්ට පහසු, ලාභ සහ විශ්වාසවන්ත මෙන් ම කරදර අඩු විකල්පයක් සපයා දෙමිනි.

ගම්බදට වෙන්නට එදා තිබුණු විකල්පය දර භාවිතය යි. ගෑස් මෙන් ම භූමිතෙල් පවා ඔවුන්ට මිල අධික විකල්ප වී තිබිණි. එයින් විශාල පිරිසක් ද ගෑස් වෙතට හරවා ගන්නට ෂෙල් සමාගමට හැකි වුයේ ඔවුන් මෙරට ගෑස් වෙළෙඳ පොළේ සිටි දශකයක තරම් කාලය තුළ දී ය.

ෂෙල් සමාගම කළ වරද නම් එදා මැද පන්තියේ සුඛෝපභෝගී ක්‍රියාවක් ව තිබු ගෑස් භාවිතය සාමාන්‍ය ජනයාගේ අත්‍යවශ්‍ය භාණ්ඩයක් බවට පත් කිරීමයි. දැන් මහජනයාට විශාල ප්‍රශ්නයක් වී ඇත්තේ අත්‍යවශ්‍ය භාණ්ඩයක් වී ඇති ගෑස් සැපයුම බිඳ වැටීම යි.

කෙසේ වෙතත්, ෂෙල් නමැති බහුජාතික සමාගම මෙරට ගෑස් වෙළෙඳපොළ අල්ලාගෙන “සුරා කමින්” ලාභ ලැබීම අපේ ඇතැම් දේශපාලඥයන්ට දිරවා ගන්නට බැරි විය. ඔවුන් අංචි ඇද ෂෙල් සමගම එලවා ගෑස් ව්‍යාපාරය ආපසු ගත්තේ “ජාතික සම්පතක්” රැකගෙන ජනතාවට අඩු මිලට ගෑස් දෙන්නට ය. ඒ සඳහා රජයට ගත් ගෑස් සමාගමට අපේ ම පාලනයක් පත් කර ගත්තේ ය.

ගෑස් සමාගමේ පාලනය භාරගත් අපේ කට්ටිය මුලින් ම කී කාරණයක් නම් ෂෙල් සමාගම දුන් මිලට ගෑස් දෙන්නට අපේ අයට බැරි බවයි. ෂෙල් සමගම ඔවුන්ගේ ම සැපයුම් ජාල වලින් අඩු මිලට ගෑස් ගත්ත ද අපේ අයට එම මිලට නොලැබෙන බව කී හ. එම පාඩු පියවන්නට රජය ගෑස් සමාගමෙන්  ගත්  බදු කපා හැරියේ ය. එම බදු වෙනත් තැන්වලින් ගෙවන්නට වුයේ මෙරට ජනතාවට ය. එමෙන් ම ගෑස් මිල ද වැඩි කළේ ය. එය ද වැටුණේ ජනතාව පිට ය.

ඒ මදිවාට දැන් බහුජාතික සමාගම ගෙන ගියාට වැඩි මුදලක් පිටරටට ගලා යන්නේ ය. ඒ ඔවුන් ගත් මිලට වඩා වැඩි මිලක් ගෑස් සඳහා ගෙවන්නට වීම නිසා ය.

රජයට පවරාගත් ඊනියා “ජාතික සම්පතකින්“ රටටත් ජනතාවටත් සිදු වී ඇති වින්නැහිය එබඳු ය.

මෙය දැන් දේශපාලඥයන්ගේ හා නිලධාරීන්ගේ සම්පතක් වී ඇත. තම හෙන්චයියන්ට රැකියා දීමටත් ,දේශපාලනය නඩත්තු කිරීමටත් දේශපාලඥයෝ මෙය භාවිත කරති. නිලධාරීන් සහ දේශපාලඥයින් යන එකට බැඳුණු දෙපිරිසම මෙයින් හම්බ කරති. ගෑස් ජාවාරම තිබෙන තාක් උන්ගේ හොද්ද බොර ය. ඒ සියල්ලට ගෙවන්නේ මෙරට ජනතාව යි.

දැන් සිදුවෙමින් තිබෙන්නේ මෙම ව්‍යාපාරය ද විනාශ කරමින් සිටීම යි. ගෑස් භාවිතය පිලිබඳ විශ්වාසය දැන් බිඳ වැටී ඇත. බොහෝ දෙනා දර, විදුලි , භූමිතෙල් වැනි විකල්ප වෙත යොමු වී ඇත. ඒ සියල්ල පරිසරයට වඩා හානිකර ය. මොවුන්ගෙන් කී දෙනෙක් නැවත ගෑස් වෙත මාරු වෙයිද නැද්ද යන්න ගැන තවමත් කිසිවක් කිව නොහැකි ය.

මෙහි ඇත්ත ප්‍රශ්නය නම් මේ මොහොතේ ප්‍රශ්නයට පැලැස්තරයක් දමා යට යැව්වත් එයින් ප්‍රශ්නය අවසන් වන්නේ ද යන්න යි. එනම් සමාගමේ කටයුතු තව දුරටත් සිදුවන්නේ මේ ආකාරයෙන් ම ද යන්නයි. 

මෙතරම් විශාල අයථා ක්‍රියා සහ වංචා සිදුකළ සමාගම තවත් කොතෙක් වැරදි කරනවා ද කියා අපි නොදනිමු . ඒවායින් ජනතාවට සිදුවන හානි, පාඩු, වංචා ගැන දැනගන්නට හෝ සොයා බලන්නට ක්‍රමයක් නැත.

සාමාන්‍යයෙන් වෙළෙඳ ව්‍යාපාර සාධාරණ ක්‍රියාවලියක් මගින් මහජනයාට සේවා සපයමින් ලාභ ඉපදවිය යුතු බව පිළිගන්නා අතරම ඒවා එලෙස ක්‍රියාත්මක වන්නේ ද යන්න සොයා බැලීම සහ නියාමනය රජය කළ යුතු බවට පිළිගැනීමක් ඇත. එනම් මෙම අංශ දෙක අතර වගකීම් බෙදී යාමක් තිබිය යුතු ය.

එනම් ව්‍යාපාර අයිතිය කුමක් වුවත් ඒවා ව්‍යාපාර ලෙස පවත්වාගෙන යා යුතු ය. රාජ්‍ය බලය හෝ වෙනත් බලයක් මගින් වෙළෙඳපොළට බලපෑම් කිරීමට , වංචා කිරීමට ඉඩක් නොතිබිය යුතු ය.

රජය කළ යුතු වන්නේ ව්‍යාපාර මහජනයාට හානිකර හෝ වංචනික හෝ ක්‍රියාමාර්ගවල නොදෙන බවටත් වෙළෙඳපොළ විකෘති නොකරන බවටත් වග බලා ගැනීම යි.

මෙහි දී සිදු වී තිබෙන්නේ දෙපාර්ශවයම එකක් වීමයි. වැරදි වළක්වන්න වගකීම ඇති පාර්ශවය වැරදි කරන පාර්ශවය බවට ද පත් වීම යි.

එනම්, බඩුත් හාමුදුරුවන්ගේ නඩුත් හාමුදුරුවන්ගේ තත්ත්වයකි.

අවම ලන්සුවෙන් කිවහොත් මෙය ලැදියාවන්ගේ ගැටුමකි. පරස්පරයකි.

මෙය දිගට පවත්වාගෙන යාම රටටත් ජනතාවටත් හානිකරය.

ගෑස් පිපිරුමෙන් පුපුරාගිය මිත්‍යාවන් තුලින් උගත යුතු පාඩම එයයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.