අපේ ආර්ථික දැක්ම

reality and fiction
Share this on Social Media

සංවාදයට විවෘතයි

ශ්‍රී ලංකාව විවිධ ආර්ථික ක්‍රම අත්හදා බලා ඇති රටකි. නිදහසෙන් පසුව මුල් කාලයේදී ශ්‍රී ලංකාව විවෘත ආර්ථික ක්‍රමයක් අනුගමනය කරන ලදී. එමෙන්ම රජය නිදහසෙන් පසුව හිඟ අයවැය ප්‍රතිපත්තිය ආරම්භ කරන ලදී. සුබසාධන වියදම සඳහා රජයේ මුදල් සැලකිය යුතු ප්‍රමාණයක් වෙන් කරන ලදී. පසුව වෙළෙඳ හිඟය සමනය කර ගැනීම සඳහා ආනයන සීමා ඇතිකරන ලදී. පෞද්ගලික අංශය සතුව තිබු බොහෝ ව්‍යාපාර රජය සතු කෙරුණ අතර රජය විසින් ද නොයෙක් රාජ්‍ය සංස්ථා ආරම්භ කරන ලදී.  මේ යුගයේදී පෞද්ගලික අංශය සතුව තිබු ප්‍රාග්ධනය රාජ්‍ය අංශය වෙතට මාරුවීම සිදුවිය.

1977 දී විවෘත ආර්ථික ක්‍රමය හඳුන්වා දෙන ලදී. මේ අනුව ආනයන සීමා ඉවත් කරන ලදී. රජය සතු ආයතන පෞද්ගලිකකරණය ඇරඹිණි.  බොහෝ විට මේ ක්‍රියාවලියේ විනිවිදභාවයක් දක්නට නොවීය. වර්ෂ 2019 නව රජය බලයට පත්වන තෙක්ම විවෘත ආර්ථිකය විවිධ ආකාරයෙන් ක්‍රියාත්මක විය.

රටේ දීර්ඝකාලීනව පැවති අයවැය හිඟයත්, වැඩිපුර වියදම් කළ මුදලින් හෝ අඩුවෙන් ලැබූ ආදායම හේතුවෙන් හෝ රටේ ප්‍රමාණවත් ආර්ථික වෘද්ධියක් ඇති නොවීම නිසාත් රටේ අනුක්‍රමයෙන් වැඩිවූ අදායම නිසා 1990 ගණන් වල අග භාගයේදී රට අඩු මැදි ආදායම් ලබන රටක් බවට පත්වීම හේතුවෙන්  අඩු පොළී දීර්ඝ කාලින ණය නොලැබීම නිසා ද රටේ ණය සමස්ත නිෂ්පාදනයට අනුරූපව වැඩිවෙමින් පවතී. එමෙන්ම දීර්ඝ කාලීනව පැවති වෙළෙඳ ශේෂයේ හිඟය නිසා විදේශ සංචිත හිඟයකට ද රට මුහුණදී ඇත. මේ හේතුවෙන් රජයට විවිධ ආනයන සිමා පැනවීමට සිදුවී ඇත. රජයේ ආර්ථික ප්‍රතිකර්ම මගින් තත්ත්වය වඩාත් බැරෑරුම් වේ.

රටේ ආදායම් බෙදී යාමේ බරපතල විෂමතා ඇති බැවින් රටේ ඒක පුද්ගල ආදායම වැඩි මැදි ආදායම් ලබන රටක තත්ත්වයට ඉතාමත් ආසන්නව පැවතියත් රටේ ජනගහනයෙන් 40% කට ආසන්න ප්‍රමාණයක් දුප්පතුන් වේ. එබැවින්  ශ්‍රී ලංකාවේ ඡන්දදායකයා ආර්ථික කරුණු සම්බන්ධයෙන් ඉතාමත් සංවේදීය.

ශ්‍රී ලංකාවට සමගාමීව සහ ඊට පසුව නිදහස ලබා ගත් ආසියාවේ විවිධ රටවල් ආර්ථික සමෘධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව පසුකර බොහෝ දුර ගමන් කර ඇත. එබැවින් මෙම ප්‍රශ්නය විසඳීම සඳහා ව්‍යුහාත්මක ආර්ථික ප්‍රතිසංස්කරණ කළ යුතුව තිබේ. රටේ අයවැය හිඟය අඩු කර ගැනීමටත් වෙළෙඳ ශේෂය අඩුකර ගැනීමටත් කටයුතු කළ යුතුව තිබේ.මේ සඳහා නිෂ්පාදනය විශේෂයෙන්ම අපනයන ප්‍රමුඛ නිෂ්පාදනය කළ යුතුය. මක්නිසාද යත් ආනයන ආදේශනයෙන් වෙළෙඳපොළ සීමා වන අතර අපනයන වෙළෙඳපොළ එසේ සීමා සහිත නොවන නිසාය.

ආර්ථිකයේ විශාල ඉඩකඩක් අත්කරගෙන ඇති රජය යටතේ ඇති අකාර්යක්ෂම ආයතන රජය යටතේම තබා ගෙන රජයේ ඇඟිලිගැසීම් වලින් තොරව පවත්වාගෙන ගොස් ලාභ ලබන තත්ත්වයට පත් කළ යුතුය. වඩාත් ප්‍රශස්ථ වන්නේ  ඒවා විනිවිදභාවයකින් යුතුව ඉතාම වැඩි ලංසුවට පෞද්ගලීකරණය කිරීමයි. කළ යුත්තේ රටේ භෞතික සම්පත් රජය යටතේ තබාගැනීම නොව වඩාත් ප්‍රශස්ථ ආර්ථික වෘද්ධියක් සඳහා යෙදවීමයි.  රාජ්‍ය අංශයේ අකාර්යක්ෂමතාව අවම කර, අතිරික්ත සේවකයන් ඉවත් කර, සිටින සේවකයන්ගේ වැටුප් වැඩි කළ යුතුය. රටේ නීති පද්ධතියේ ක්‍රියාකාරීත්වය ඉක්මන් විය යුතුවාක් මෙන් සාධාරණ විය යුතුය. දූෂණය අවම කල යුතුය. රටේ සංවර්ධනයේ ප්‍රතිලාභ ජනතාව අතරේ බෙදී යා යුතුය.මෙය බදු ක්‍රමය හරහා සිදු කළ හැක.

එමෙන්ම රජය අව වරප්‍රසාදිත කොටස් වෙනුවෙන් පෙනී සිටිය යුතුය. නියාමනයකට යටත්වූ පෞද්ගලික ව්‍යවසාය වේගවත් කාර්යක්ෂම ආර්ථික සංවර්ධනයකට මග පාදයි. ඔවුන්ට ඇති සමාජ පිළිගැනීම වර්ධනය කළ යුතුය. එමෙන්ම රාජ්‍ය යන්ත්‍රය කුඩා කිරීම මගින් ජනතාවගේ බදු බර ද අඩුවේ. රටපුරා තිබෙන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර නැංවීම මගින් සංවර්ධනය රටපුරා ව්‍යාප්ත වේ. භාණ්ඩ සහ සේවාවල ගුණාත්මකභාවය ජාත්‍යන්තර මට්ටමේ තිබිය යුතුය. සුරැකුම්පත් මත පමණක් ණයදෙන වාණිජ බැංකු සංකල්පයෙන් බැහැරව ව්‍යපෘති වාර්තාවන්හි ඇති ශඛ්‍යතා අනුව ණය ලබා දෙන සංවර්ධන බැංකු ක්‍රමයක් නැවත ඇති කළ යුතුය.

මෙය මැද මාවතේ ආර්ථික දැක්මකි. එනම් මහජනයාගේ ආරක්ෂාව, නිදහස් පැවැත්ම, සමාජ සුබසාධනය, පරිසර සංරක්ෂණය සහ සැමට සමාන අවස්ථා සැපයීමේ වගකීම රජය විසින් ඉටු කරනු ලබන්නා වූ , නිදහස්, තරඟකාරී, නීති ගරුක, සදාචාරාත්මක, කාර්යක්ෂම  වෙළෙඳ පොළ ආර්ථික ක්‍රමයක් ක්‍රියාවට නැගීම මගින් සමස්ත ජනතාවට ඉහළ සුරක්ෂිත ජීවන තත්ත්වයක් ලබාදීම සඳහා  ක්‍රියාත්මක වීම ශ්‍රී ලංකාව ක්‍රියාවට නැගිය යුතු ආර්ථික ක්‍රියාමාර්ගයයි.

එය මැද මාවතක් වන්නේ, සියලු ආර්ථික කටයුතු රජය මගින් කළ යුතු යයි සිතන සහ පෞද්ගලික අංශය පිලිබඳ විරෝධාකල්පයක් සහිත රාජ්‍ය කේන්ද්‍රීය මතවාදයන් බැහැර කිරීම, සහ  සියලු ආර්ථික කටයුතු පෞද්ගලික ව්‍යවසායකයන්ට භාර දී රජය රාත්‍රී මුරකරුවකුගේ තත්ත්වයට පත්විය යුතු යයි කියන නව ලිබරල්වාදී අන්තවාදය බැහැරකිරීම නිසා ය.

මෙම සටහනට අප කණ්ඩායම තුළින් ඉදිරිපත් කරන ලද තවත් දායකත්වයක් පහත දැක්වේ

ලිපියෙහි දැක්වෙන ආදායම් බෙදීයාමේ විෂමතාවය යටතේ එන බදු ක්‍රමය ශක්තිමත් කිරීම.

1. යම් පුද්ගලයෙක් යම් සමාජයක් තුළ ජීවත්වේ නම්, ඔහු එම ක්‍රමය පවත්වාගෙන යාමට දායක විය යුතු බවත් ඒ සඳහා තමන් උපයන මුදලින් කොටසක් රජයේ භාගය ලෙස ගෙවිය යුතු බවත් ඒත්තු ගැන්වේ.

2. රජය විසින් මෙම කර්තව්‍ය කාර්යක්ෂම ඉටු කිරීමට බැඳීසිටීම.

3. සාධාරණව මෙම ආදායම බෙදාදීම අනෙක් වගකීමයි. ඒ යටතේ සුබසාධන, යටිතල පහසුකම්, ආරක්ෂාව, නීතිය හා සාමය, ආර්ථික සංවර්ධන ආදිය රජය විසින් සිදුකළ යුතුය.

රටපුරා තිබෙන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර නැංවීම:-

  1. ප්‍රාග්ධන සංචරණය ලිහිල් කිරීම සඳහා රජය යටතේ නොවන සංවර්ධන බැංකු සංකල්පය ක්‍රියාත්මක කිරීම.

2. සැපයුම් ජාල ඇතිකිරීමට අනුබලදීම හරහා අවදානම බෙදාගැනීම සහ සම්පත් අපතේයාම අඩුකිරීම. රටේ ප්‍රධාන අංශය වන කෘෂිකර්මය සඳහා මෙය විශේෂයි.

3. අතරමැදියන් අැතිකිරීමට අනුබල දීම හා බහුල කිරීම.

4. රජයේ රැකියා සැපයීම අධෛර්යවත් කිරීම සහ ස්වයං ව්‍යාපාර සහ ව්‍යවසායකත්වය සඳහා ජනතාව යොමු කිරීම හරහා වගකීම් දැනෙන මිනිසුන් බිහිකිරීම.

අපේ ආකල්ප:-

  1. නිෂ්පාදකයින්, ව්‍යවසාකයින්හා ප්‍රාග්ධන පිළිබඳ ඇති විශේෂයෙන් ධනවාදයට සහ ධනයට ඇති විරෝධය ඉවත් කිරීම සහ ඒවාට නිසි ගෞරවය ලබාදීම.
  2. භාණ්ඩ හා සේවා හැකිතරම් අන්තර්ජාතික මට්ටම සමග ගැටීමට සැලැස්වීම සහ ඒ මගින් ඒවායේ ප්‍රමිතිය හා මිල තරගකාරී මට්ටමකට ගෙනඒම.
  3. සුරැකුම්පත් මත පමණක් ණයදෙන වාණිජ බැංකු සංකල්පයෙන් බැහැරව ව්‍යපෘති වාර්තාවන්හි ඇති ශඛ්‍යාතාවය අනුව ණය ලබා දෙන සංවර්ධන බැංකු ක්‍රමයක් නැවත ඇති කිරීම.
  4. දේශීය සම්පත් විකිණීම හා සම්පත් කළමණාකරණය කර ආදායම් උපදවා ගැනීම අතර වෙනස හඳුනාගැනීම. දේශපාලන සටන්පාඨ වලට රැවටීම වෙනුවට එහි ආර්ථිකමය අවශ්‍යතාවය හඳුනාගැනීම. මෙම ව්‍යාපාර කිසිවෙකුට රැගෙන යාමට නොහැකි බව පෙන්වීම. මෙම පොළොවේ උප්පාදනය වන සියල්ල මෙරටට අයිතිබව පෙන්වීම. (මේඩින් ශ්‍රී ලංකා නාමය ලැබිම) ඒ සඳහා ප්‍රාග්ධන සැපයීම සහ වෙළඳපොළ සොයාගැනීමට හැකිනම්, එම කාර්යය කරන්නේ කවුරුන්දැයි ප්‍රශ්න කිරීම නිෂ්ඵල බව පෙන්වීම. යම් ව්‍යාපාරයක් යම් රටක මුල්බැසගත් පසුව එය එම රටේ දේශීය දෙයක් බවට පත්වීම.

විදේශ හා දේශීය ආයෝජන:-

  1. අප රට විදේශ විනිමය හිගයෙන් බොහෝ කලක් බැට කෑ රටක් වශයෙන් නිර්යාත වැඩි දියුණු කළ යුතුය. ඒ සදහා සැපයුම් ජාල පිළිබඳ අධ්‍යයනය කරඒ සඳහා ව්‍යවසායකයන් යොමු කළ යුතුය. ඒ සඳහා විදේශ ප්‍රාග්ධනය හා දැනුම මෙරටට ආනයනය කළ හැකියි. ආසියාව ඇතුළත පමණක් වුවද මේ සඳහා ඕනෑවටත් වඩා ශඛ්‍යතාවක් තිබේ.
  2. උදාහරණයක් ලෙස ඉන්දියානු වෙළඳපොළ සඳහා චීන ආයෝජන සහ චීන වෙළඳපොළ සඳහා ඉන්දියානු ආයෝජන දැක්විය හැකිය. මේ සදහා වෙළඳ ගිවිසුම් අත්‍යවශ්‍යය. වෙළඳ ගිවිසුම් ඇතිකර ගැනීම, ශ්‍රම හමුදාව පුහුණු කිරීම, අමුද්‍රව්‍ය පහසුවෙන් සපයා ගැනීමට ක්‍රම සහ විධි සැකසීම, වාණිජ නීතිය පහසුවෙන් හා බලපෑම්වලින් තොරව රට තුළ පැවැත්වීමට සැලැස්වීම ආදිය දැක්විය හැකියි.
  3. ශ්‍රම හමුදාව නඩත්තු කිරීමට, ආරක්ෂා කිරීමට දැලක් නිර්මාණය කිරීම මගින් ආයෝජකයාට පහසුකම් සැපයීම. ආයෝජකයාට පහසුකම් සැපයීම වරදක් වශයෙන් දැනට සමාජයේ ඇති පිළිගැනීම ඉවත් කිරිමට කටයුතු කිරීම.
  4. දේශීය ආයෝජකයාටද ඉහත ආකාරයෙන් සැලකීම. අන්තර්ජාලය හරහා භාණ්ඩ විකිණීමට ඇති පහසුකම්, විශේෂයෙන් මෙරටට මුදල් ගෙන්වා ගැනීමට ක්‍රමයක් සැකසීම. දැනට පවතින ණයවර ලිපිවලට අමතරව, කුඩා පරිමාණ අපනයනකරුවන් සඳහා මෙය අත්‍යාවශ්‍ය දෙයකි.

අපට ගැලපෙන ආර්ථික මොඩලය කුමක්ද?

  1. ධනවාදී ආර්ථික ක්‍රමය සහ ගජමිතුරු ආර්ථිකය අතර වෙනස, රටතුළ ව්‍යාපාර කිරීමේදී ව්‍යාපාර කිරීමේ ප්‍රජාතාන්ත්‍රික අයිතිය අහිමිකොට ඒ සඳහා අවස්ථා ගජමිතුරන්ට ලබාදීම මෙම වෙනස තුළ දකින්නට හැකිය. රජය ප්‍රාග්ධන හිමිකාරිත්වය වැඩි කොටසක් දරණ මෙවැනි රටවල (ශ්‍රී ලංකාව වැනි) මෙය ඉතා පහසු ආකාරයෙන් සිදුවේ. උදාහරණයක් ලෙස, රජයේ ආයතනවල කොන්ත්‍රාත් ඒවා සැපයීම් කුසලතාවය අනුව නොව සම්බන්ධතා අනුව සිදුවීම.
  2. දූෂණය අවම කිරීම සදහා ප්‍රතිසංස්කරණ:- රජයේ ස්වභාවික ඒකාධිකාරි කොටස් හැර ඉතිරි කොටස්වලට පුද්ගලික අංශය සම්බන්ධ කර ගැනීම. ඒ යටතේ තරඟකාරිත්වය වැඩිදියුණු කිරීම. රජය යටතේ ඇති කොටස් සඳහා නිදහස් නියාමන අධිකාරීන් යටතට පත්කිරීම. මෙහි නිදහස් යනු බොහෝවිට පාර්ලිමේන්තුව යටතේ පාලනය වන අධිකාරීන් වේ.
  3. මහා භාණ්ඩාගාරයෙන් ප්‍රතිපූර්ණය කර පවත්වාගෙන යන රාජ්‍ය ව්‍යවසාය ක්‍රමය අතහැර දැමීම.

එක් ප්‍රතිචාරයක්


ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.