අලුත් කතාබහ යනු 2020දී සිවිල් සමාජ ක්‍රියාධරයන් කණ්ඩායමක් විසින් මුලපුරන ලද සමාජ, දේශපාලනික සංවාදයකි. මෙම ව්‍යාපාරයේ අරමුණ වන්නේ සමාජය වෙනස්කිරීමේ කාර්යයට සාධනීය ලෙස දායක විය හැකි පුරවැසියකු නිර්මාණය කිරීමයි. අපගේ මූලික අදහස වන්නේ, වර්තමාන සංදර්භය තුළ, සමාජ සංවර්ධනයේදී පුරවැසියා දේශපාලකයාට වඩා වැදගත් වන බවයි. එබැවින් අප ක්‍රියා කරන්නේ දේශපාලනයේදී පුරවැසි නායකත්වයක් නිර්මාණය කිරීමටයි.

අප පුරවැසියා විග්‍රහ කරන්නේ, හුදු රාජ්‍යයක සාමාජිකයකු වීම ඉක්මවා යමින් තම අයිතිවාසිකම්, වරප්‍රසාද හා වගකීම් පිළිබඳ දැනුවත්ව කටයුතු කරන සක්‍රිය දේශපාලන ක්‍රියාකාරිකයකු ලෙසයි. දියුණු සමාජයක් නිර්මාණය කිරීමට නම් දේශපාලන ප්‍රජාව තුළ එවැනි පුරවැසියන් නිර්මාණය කළ යුතු බව ද, එවැනි පුරවැසියන්ගේ සංවිධානාත්මක මැදිහත්වීම් අවශ්‍ය බව ද අපගේ විශ්වාසයයි.

අප අලුත් කතාබහ ව්‍යාපාරයේ කාර්යභාරය ලෙස සලකන්නේ රට පුරා විසිරී සිටින එවැනි සක්‍රිය පුරවැසියන් හඳුනාගැනීම, ඔවුන් සමග සම්බන්ධතා ජාලයන් ගොඩනැගීම හා ඔවුන්ගේ සාධනීය භූමිකාවන් සඳහා පහසුකම් සැපයීමයි.

මෙම ලේඛනයෙහි භාෂාව තුළ ‘පුරවැසියා’ යන වදනින් ස්ත්‍රී, පුරුෂ හා වෙනත් ලිංගික අනන්‍යතාවන් ඇති සියලුදෙනා හැඳින්වෙන බව ද, එම වදනෙහි අරුත තුළ ලිංගික, ජාතික, ජනවාර්ගික, කුල, ආගමික ආදී විශේෂතා කිසිවක් නොමැති බව ද කරුණාවෙන් සලකන්න. එසේම, ස්වාභාවික නීතිය අනුව සෑම රාජ්‍ය සාමාජිකයකුටම හිමිවන පුරවැසිභාවය අප පිළිගන්නා අතර, අප කටයුතු කරන්නේ ඉහත විස්තර කරන ලද පුරවැසිභාවය ශක්තිමත් කිරීම සඳහා බව ද සලකන්න.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.