ළමයින්ට නිදහස දෙන්න

Education
Share this on Social Media

මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර, 2021

සැබෑ නිදහස් අධ්‍යාපනය සඳහා පුරවැසි අරගලයක සහ යෝජනාවලියක අවශ්‍යතාව

කන්නන්ගර කමිටුවේ නිර්වචන අනුව නිදහස් අධ්‍යාපනය යන අදහස වඩාත් අර්ථ ගැන්වෙන්නේ ‘ශිෂ්‍යයාගේ නිසග හැකියාව දියුණු කිරීමෙන් පහළ සමාජ ආර්ථික මට්ටමේ සිටින අයට ඉහළම සමාජ ආර්ථික මට්ටමට යෑමට අධ්‍යාපනය හරහා ඉඩදීමත්, සෑම අයකුටම අධ්‍යාපනයෙහි සමාන අවස්ථා ලබාදීමත්’ සමගය. එසේ වුව ද දැන් පවතින අපගේ අධ්‍යාපනය ‘නිදහස්’ යන අරුතටත් ‘නොමිලේ’ යන්නටත් කිසිසේත්ම ගැලපෙන්නේ නොමැති තත්වයට පත්ව තිබේ.

කන්නන්ගර යුගයේ මුඛ්‍ය පරමාර්ථ සැබෑ ලෙස සාක්ෂාත් කර ගන්නවා වෙනුවට ‘නිදහස්’ අධ්‍යාපනයෙන් වහලුන්, ජාත්‍යාලයෙන් අන්ධ වූවන් නම් වැඩි වශයෙන් තනාගෙන තිබේ. නිදහස් පාරිභෝගික ජනතාවක් නම් සිටී. රැකියා උත්පාදනය කරන්නන් වෙනුවට රජයේ රැකියා ඉල්ලන්නන් තනාගෙන තිබේ. ඊට අමතරව ළමයින් ළමා කාලය අහිමි විභාග යාන්ත්‍රණයේ ගොදුරු බවට පත්කෙරෙන  විෂම චක්‍රයක පටලවාගෙන සිටී. අවාසනාව නම්, මේ දේ දෙමව්පියන්ගේ කැමැත්තෙන් වීමයි.

අවංකව සිනාසුනු, නොබියව කතා කළ, නැටූ දැඟලූ  නිරන්තර කුතුහලයෙන් යුතුව දහසක් ප්‍රශ්න අසමින් සිටි, තමාටම ආවේනික  ස්වාධීන වූ හැසිරීම් ඇතිව සිටි ඉතාම සුන්දර හුරුබුහුටි දරුවා, දෙමව්පියන් විසින් නොවඳිනා වැඳුම් වැඳ, විවිධ සහතික සහ මුදල් එකතු කොට මහා සටනකින් පසු පාසලකට දී, කිසිම දැඟලිල්ලක් , හිනාවක්, ප්‍රශ්න ඇසීමක් නැති,  පාසලේ හතරැස් දොරේ හැඩය ඇති ළමයෙකු එළියට ගනිමින්, ඒ ‘අලුත්’ හතරැස් ළමයා උපකාරක පංතිවලින් ඔප දමා, අනෙකුන් පරදවා, මොනවා නැතත් ඉහළ ඉසෙඩ් අගයක් අදාළ සූත්‍රයට අනුව ලබා, ලක්ෂ ගණනක සමස්ත ශිෂ්‍ය ප්‍රජාවෙන් තිස් හතලිස් දහසක් පමණ කණ්ඩායමක් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම හරහා තේරෙන රාජ්‍ය විශ්වවිද්‍යාලයට ඇතුළත් කර යහපත් අනාගතයක් ගැන බලා සිටිමු. විශ්වවිද්‍යාලවලට ඇතුළත්වීමේ වරම් වැඩි වෙමින් තිබුණද, අධ්‍යාපනය තුළ ‘කල් ඉකුත් වූ’ ශිෂ්‍යයෝ ද වෙති. එනම්, උසස් පෙළ සමත්වීමේ උත්සාහයන් අවස්ථා තුනකට පසු උසස් අධ්‍යාපනයේ පූර්ණකාලීන ශිෂ්‍යභාවය ලැබීමට නොහැකි කල් ඉකුත් වූ භාණ්ඩයක තත්වයට ශිෂ්‍යයා පත්වෙයි.  ඊට අමතරව විභාග අසමත් පුරවැසියන් රැසක් වාර්ෂිකව රැස් කරමින් සිටිමු.

එබැවින් මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ අත්දැකීම් ලද සහ දියුණු අනෙක් රටවල සාධනීය අධ්‍යාපන අත්දැකීම් සහ යහපත් භාවිතාවන් පිළිබඳ පරිචයක් ඇති වෙනසක් අපේක්ෂා කරන අය එක්වී ළමයින්ට පුර්ණ නිදහස ලබාදෙන අධ්‍යාපන පරිසරයක් ඇති කරගත යුතු වේ. අධ්‍යාපනය සතුටින්, උවමනාවෙන්, ආශාවෙන් කරන තැනට පත් කළ යුතු වෙමු. තමා කැමති වෘත්තියකට ජීවිකාවකට හැඩ ගැසෙන්නට සෑම දරුවකුටම බලපෑමෙන් තොරව අනුග්‍රහය දක්වන, සෑම වෘත්තියක්ම වැදගත් සහ ගෞරවනීය ලෙස පිළිගන්නා සමාජයකට පරිවර්තනය කළ යුතු වේ.

මේ සඳහා පළමුවෙන්ම පෙර පාසැල් අවධියේ සිට විභාග මනසක් ඇති කරමින් ළමාවිය විනාශ කරමින් ළමයා ජීවිතයෙන් වියුක්ත කිරීම වහාම අවසන් කළ යුතුව ඇත. මෙය කිරීමට නම් දරුවන්ගේ දෙමව්පියන් වන පුරවැසියන් සවිඥානිකව විභාග ජයම පමණක් ඉලක්ක කර ගත් අධ්‍යාපන තරඟයෙන් ඉවත්වීම කළ යුතුම වෙයි. විභාග කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමය වෙනුවට විකල්ප ඇගයුම් ක්‍රම භාවිතය ද, අනිසි බලපෑම් සහ උපකාරක පංතිවලින් තොර සැබෑ ලෙසම ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයක් සහ ස්වයං අධ්‍යාපනය ඇගයීම සහිත අධ්‍යාපන ක්‍රමයක් ස්ථාපනය කිරීම අවශ්‍ය ම කාරණයකි. ශිෂ්‍ය කේන්ද්‍රීය වචනය පැවතුන ද දැනට සිදුවන්නේ විභාග මගින් ළමයින් අසමතුන් කිරීමේ ක්‍රියාවලිය සහ විභාග උත්තරවලින් මතක ගබඩාව පුරවාගෙන කට පාඩමින් වැමෑරිය හැකි අය සමත් යැයි පිළිගන්නා ක්‍රමයයි.  ඉගෙන ගන්නා ක්‍රම බොහොමයක් වෙයි. එකම ක්‍රමය විභාග සමත් වීම නොවේ. කට පාඩම් කොට වමාරන විභාග නොව ගැටලු, අභියෝගවලට මුහුණ  දීමට ඉගෙන ගැනීමත් ඒවා විසඳීමට සහ ජය ගැනීමට දරුවාට පහසුකම් ඇති කිරීමත් ප්‍රධාන විය යුතු ම වෙයි. මෙය තේරුම්ගත් එබඳු අධ්‍යයන කුසලතා වර්ධනය කරගත් පුහුණු වූ නිරන්තරව යාවත්කාලීන වෙන්නා වූ  ගුරු ප්‍රජාවක් ද මේ සඳහා අවශ්‍ය වෙයි.

යල්පිනූ සහ පාඩම් පොත් වෙනස් කර තනියම කියැවීමට පොළඹවන ආකාරයේ ප්‍රියමනාප උනන්දුව ඇති කරන යාවත්කාලීන ජාත්‍යන්තර ප්‍රමිතියකින් යුතු පොත් පත් නිර්මාණයට සහ ප්‍රකාශනයට පරිසරය සූදානම් කළ යුතු වෙයි. පංති කාමරයෙන් බැහැරව නිවසේ, පරිසරයේ , සමාජයේ, ගමේ, නගරයේ, ගොවිපළේ කම්හලේ, වැඩපොළේ, වෙළඳපොළේ ආදියෙහි දී ඉගෙනුම් අවස්ථා උදාකිරීම සහ ඉගෙනීමට සැලැස්වීම, සැහැල්ලුව විනෝදය සතුට ක්‍රීඩාව කලා ක්‍රියාකාරකම් සඳහා වැඩි ඉඩක් දීම, හැකි තරම් භාෂාවන් ඉගෙනීමට යොමු කිරීම සහ අවස්ථා සැලසීම, කලාව හුදෙක් විනෝදයට සහ විවේකයටම පමණක් නොව සාහිත්‍ය සහ කලාවන් ඇගයීම පොදුවේ හැමෝටම ලබා දෙන අධ්‍යාපනයක් බවට පරිවර්තනය කිරීම,  එක් විෂයකට කුටිගත නොවී විද්‍යා, කලා, ගණිත, සමාජ විද්‍යා,  වානිජ සහ තාක්ෂණ මිශ්‍රිත අධ්‍යාපනයක් ලබා දීම, සාමාන්‍ය පෙළ විභාගය පාසැලේ සාමාන්‍ය ඇගයීමක් බවට පත් කිරීම ආදී වශයෙන් කළ යුතු වෙනස්කම් රාශියකි.

පහ වසර ශිෂ්‍යත්වය පැවැත්විය යුතුම ද? අවලංගු කළ යුතු දෙයක් ද? එදා කන්නන්ගරගේ යෝජනා  සහ අද එම ක්‍රියාවලියේ අරමුණු සම්පූර්ණයෙන් ම උඩු යටිකුරු වී විකෘති වූ තවත් තරඟයක් බවට පරිවර්තනය වී ‘අම්මලාගේ විභාගය’ බවට පත් වී දරුවන් ළමා කාලය විනාශ කරගනිමින් සිටී. මෙයට මහජන තීන්දුවක් අවශ්‍යය.

ප්‍රාථමික අවධියේ අධ්‍යාපනය ලැබීමට වඩාත් ම සුදුසු පාසැල වන්නේ එය පයින් යන දුරකින් පිහිටා තිබේ නම්ය. මෙය සාක්ෂාත් කරගන්නට නම් අනිවාර්යයෙන්ම දෙමව්පියන්ගේ මනසේ සකස්වීමක් සහ අධ්‍යාපන සපයන්නන්ගේ පැහැදිලි කැපවීමත් අවශ්‍ය ය.  පළමු පාසැල ළඟම පාසැල කිරීම මගින් පළමු වසරට සිසුන් ඇතුළත් කිරීමේ අර්බුදය ද සහමුලින්ම නිමා කර ගත හැකි අතර දෙමව්පියන්ට වඩාත් සක්‍රීය පුරවැසියන් වීමට ඉඩ ප්‍රස්ථාව ද ලැබෙනු ඇත. ශ්‍රී ලාංකේය දෙමව්පියන්ගේ සුපිරි පාසැල් හඹා යෑමේ අවශ්‍යතාව ද මෙයින් සමනය වනු ඇත.

ප්‍රාථමික, ද්විතීයික,තෘතීයික සහ වෘත්තීය ආදී වශයෙන් කුමන අධ්‍යාපන ක්ෂේත්‍රයක් ගත්ත ද අසංතෘප්ත තත්ත්වයකි. සාක්ෂරතාවෙන් ඉහළ, කිසියම් ප්‍රමාණයක ජාත්‍යන්තරව පිළිගැනීම් සහිත අධ්‍යාපනයක් බැලූ බැල්මට තිබුණ ද එයට තට්ටුකර බැලූ විට නැගෙන්නේ ඉහතින් සාකච්ඡා කළ ගැටලු සහ අවුල් වූ ප්‍රශ්නවල දෝංකාරයයි. අධ්‍යාපනය හුදෙක්ම යාන්ත්‍රික ක්‍රියාවලියක් ලෙස  සිද්ධ වෙමින් පැවතීමයි.  

පවතින අධ්‍යාපන ක්‍රමයෙන් බැට කා අසමත් හෝ දඩබ්බර ලේබලය ලැබූ, ස්වයං අධ්‍යාපනයෙන් තම හැකියාවන් පිළිබඳ ස්වයං ඇගයීමෙන් ස්වකීය කැමැත්තට මුල් තැන දෙමින් සම්මත උසස් අධ්‍යාපන ඉණිමගේ නොගොස් ජීවිතයේ සාර්ථකත්වයට ළඟා වූවෝ සමාජයේ සිටිය ද ඔවුන්ගේ අත්දැකීම්  අධ්‍යාපන ක්‍රමය යහපත් කිරීමට අදාළ කර ගත යුතු වුව ද ක්‍රමය විසින් පවත්වන්නේ කිසිවක් නොඇසෙන පිළිවෙතකි.

එබැවින් ළමයින්ට නිදහස දීමට හා අධ්‍යාපනයට සැබෑ නිදහස ලබා දීමට කළයුතු දේ බොහෝය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.