ලංකාව අධ්‍යාපනය තුළ අතරමංවීම

Sri Lanka students
Share this on Social Media

කීර්ති ගොඩිගමුව

අධ්‍යාපනයේ වටිනාකම කළමනාකරණය ගැනීමට අසමත්වූ රාජ්‍යයන් අතර ශ්‍රී ලංකාව ඉදිරි පෙළ ස්ථානයකට පත්ව සිටින බව නොරහසකි. මෙම තත්වය විග්‍රහ කිරීම හුදෙක් අධ්‍යාපනයේ ගුණාත්මකභාවයේ සිදුවී ඇති වෙනස සොයාබැලීමක් නොව එහි ඍජු හා වක්‍ර ප්‍රතිඵල ලෙස අප අත්කරගත් හා අපට අහිමි වූ දේ ගැන කෙරෙන ඇගයීමකි.

අධ්‍යාපනය කළමනාකරනය කරගැනීමේ දුර්වලතාවයේ පලමු වින්දිතයන් බවට පත්ව ඇත්තේ රටේ දරු පරපුරයි. එහි දෙවන වින්දිතයන් වන්නේ දෙමවුපියන් වන මහජනතාවයි.

මෙරට දරුවන්ට තමන්ගේ ළමා සහ නවයොවුන් ජීවිතයේ වැඩි කාලයක් පන්ති කාමර තුළ එනම් උදේ වරුවේ පාසල තුළත් සවස් වරුව උපකාරක පන්තිවලත් වශයෙන් විෂය කරුණු ඉගෙනගැනීමට සිදුවීමත් විශේෂයෙන් ළමාවියේදී ගමනාගමනය සඳහා සැලකියයුතු කාලයක් වැයකිරීමට සිදුවීමත් ඒ හරහා දෙමවුපියන්ගේ කාලයද නාස්ති කිරීමට සැලැස්වීමත් එම කළමනාකර දුර්වලතාවයේ ප්‍රධාන අතුරුඵලය ලෙස දැක්විය හැකිය.

මෙලෙස ශිෂ්‍යයයාගේ ළමා සහ නව යොවුන් විය අධ්‍යපනය මුවාවෙන් උදුරාගැනීමට වැඩිහිටියන්ට ඇති අයිතිය කුමක්ද? මේ තුළින් අප බිහිකරන වැඩිහිටියාගෙන් බලාපෙරොත්තු විය හැක්කේ කුමක්ද? වැඩිහිටියන් විසින් පිළියෙල කල දේ පමණක් මුලු කාලය පුරාම ඉගැන්වීමට සැලැස්වීම හරහා ළමා කාලයට උරුම නිදහසේ සිතීමට, නිර්මාණ කිරීමට හෝ තමන්ට හිමි කුසලතාවයක් හඳුනාගැනීමට ඇති අයිතිය උදුරාගැනීමක් නොවන්නේද? මෙම පවතින ක්‍රමවේදය තුළ හැදෙන දරුවා වැඩිහිටියෙක් වූ කල පවතින සමාජය තුළ ජීවත්වීමට තරම් ප්‍රතිශක්තියකින් හා කුසලතාවකින් යුක්තද? කෙටියෙන් කියතහොත් මෙම ක්‍රමය තෝරාගත් අංශ කීපයක් සඳහා දක්ෂතා දක්වන දරුවන් සඳහා පමණක් මාර්ගය සකසා සෙසු දරුවන් අපේක්ෂා භංගත්වයට පත්කරවන ක්‍රමයක් නොවේද? මෙම ප්‍රශ්න සියල්ලෙන්ම ආමන්ත්‍රණය කෙරෙන්නේ දැනට අප ක්‍රියාත්මක කරමින් සිටින ක්‍රමවේදයේ ඇති සෘණාත්මකභාවයට බව ඔබ එකඟ වනු ඇත.

අඩුතරමින් මේ තුලින් කාල කළමණාකරනය ගැන හෝ ආදර්ශයක් සැපයීමට අප සමත්ව ඇති බවක් පෙනෙන්නට නැත. අවශ්‍ය අධ්‍යාපනය දවසේ යම් නිශ්චිත කාලයක් තුළ ලබාදීමට සැලැස්වීම සහ ඉතිරි කාලය ක්‍රීඩා සහ අනිකුත් ක්‍රියාකාරකම් සිදුකිරීම සඳහා ඉඩ සලසා දීම සමබර වර්ධනයක් ඇතිකරලීම සඳහා වැදගත්වේ.

පාසලෙන් නික්මයන දරුවා වගකීම් සහිත වැඩිහිටියෙකු බවට පරිවර්තනය වන්නේ යම් රැකියා හෝ ශිල්පීය පුහුණුවීම් හෝ උසස් අධ්‍යපනය ලබන කාලසීමාවේදීය. එහෙත් එවැනි පුහුණුවීම් හෝ උසස් අධ්‍යාපනය සඳහා මෙරට දරුවන්ට ඇති පහසුකම් සාපේක්ෂ වශයෙන් අඩුය. ගාස්තු රහිත රජයේ විශ්වවිද්‍යාල සහ පුහුණු ආයතනවලට සුදුසුකම් ලබන සුලුතරයට හැරුනුවිට බහුතර දරුවන්ට සිදුවන්නේ තවදුරටත් දෙමව්පියන්ගෙන් යැපීමට සහ ඔවුන්ගේ වත්කම් අනුව පුහුණුවීම් හෝ උසස් අධ්‍යාපනය සඳහා යොමුවීම හෝ එසේ නොහැකි අයට යම් රැකියාවක් සොයාගැනීමයි.

එහෙත් මෙම පවතින ක්‍රමය මඟින් දරුවන්ගේ හැකියා හෝ කුසලතා අනුව අනාගතය තීරණය කරනවාට වඩා වැඩි ආදායමක් ලබාගතහැකි සහ පිළිගැනීමක් ඇතැයි සැලකෙන රැකියාවන් කීපයක් සඳහා බහුතරය තරඟ කිරීමට පෙළඹී සිටීන වාතාවරණයක් නිර්මානය වී ඇති බව නිරීක්ෂණය කළ හැකිය.

එහෙත් ආර්ථික අතින් දියුණු රටවල මෙම තත්වය කළමනාකරනය කරන්නේ ඒ හරහා වගවීමේ හා ආයෝජනය කිරීමේ පාඩම ද දරුවාට අවබෝධ වන අයුරෙනි. මෙම ක්‍රමයෙහි පදනම වන්නේ උසස් අධ්‍යාපනය හෝ යම් වෘත්තීය පුහුණුවක් ලබාගැනීමට අවශ්‍ය ඕනෑම අයෙක් ඒ සඳහා සඳහා අදාළ ආයතනයට ගෙවීම් කළ යුතුය යන්නයි. අධ්‍යාපනය සපයන ආයතනවල ධාරිතාව ඒ ඒ රටවල ශිෂ්‍ය සංඛ්‍යාව ඉක්මවායයි. මෙම ආයතන රජයේ හෝ පුද්ගලික හෝ රජයේ හා පුද්ගලික ඒකාබද්ධ අයිතිය යටතේ නිදහස් ව්‍යාපාර ලෙස නියාමනයට යටත්කොට ක්‍රියාත්මක වීමට ඉඩ සලසා ඇත. එක් එක් ආයතනයට ශිෂ්‍යයින් බඳවාගැනීමට කිරීමට සිදුව ඇත්තේ තරඟයකි. එක් එක් අංශ සඳහා වියදම වෙනස් අතර බොහෝවිට ඉල්ලුම වැඩි විෂය ධාරාවල මිල වැඩිය. පාසල් සමය අවසන් කරන ඕනෑම දරුවෙකුට උසස් අධ්‍යාපනය හෝ යම් වෘත්තීය පුහුණුවක් ලබාගැනීමට අවශ්‍යනම් ඒ සඳහා ආයෝජනයක් කිරීමට සිදුවේ. ඒ සඳහා ඔවුනට ආයෝජනයේ වියදම සහ එහි ප්‍රතිලාභ පිලිබඳ විශ්ලේෂනයක් (Cost Benefit Analysis) කිරීමට සිදුවේ. ඒ මඟින් තමන්ට වඩාත්ම සුදුසු හා ප්‍රතිලාභ ගෙනදෙන ආයෝජනය කිරීමට දරුවාට සිදුවේ. මෙම ආයෝජනය සඳහා මුදල් ශිෂ්‍යයන්ගේ ඉල්ලීම මත ඒ ඒ අධ්‍යාපන ආයතනවල මැදිහත්වීම හරහා රජයෙන් අදාළ ආයතනය වෙත ලබාදෙනු ලැබේ. මෙසේ ශිෂ්‍යන් විසින් ආයෝජනය කරන මුදල් පොලියත් සමඟ රැකියාවකින් ආදායමක් ලබාගන්නා විට ආපසු රජය වෙත ගෙවිය යුතුය. මෙහිදී රජයයන්ගේ අවධානය යොමුවී ඇති වැදගත් කරුණ වන්නේ සියලුම ශිෂ්‍යයන් සඳහා අධ්‍යාපන ණය සැපයීමට පුමුඛස්ථානයක් දීම සහ යටිතල පහසුකම් සැපයිමේ ප්‍රාග්ධන වියදම් සඳහා පුද්ගලික අංශය සමඟ හවුලේ සහභාගී වීමයි.

මෙලෙස උසස් අධ්‍යාපනය හෝ යම් වෘත්තීය පුහුණුවක් අවසන් කරන දරුවාට රැකියාවක් සොයාදීමට රජය කිසිලෙසකින්වත් වගකියන්නේ නැත.බොහෝවිට ආර්ථික අතින් දියුණු රටවල රාජ්‍ය අංශය ඉතා කුඩා අතර ඒවා ද රාජ්‍ය පරිපාලන, අධිකරණ, ආරක්ෂක, දේශීය ආදායම්, සමාජසේවා වැනි අංශ සහ අධ්‍යාපන සහ සෞඛ්‍ය අංශවල යම් ප්‍රතිශතයක් වශයෙන් සීමාවේ. එබැවින් රැකියා සැපයීමේ ප්‍රමුඛයා සහ ඉහළ වැටුප් පිරිනමන සේවාදායකයා වන්නේ පුද්ගලික අංශයයි.

එහෙත් මෙරට පවතින තත්වය මීට වඩා වෙනස්ය. බොහෝවිට මෙරට රැකියා සැපයුමේ ප්‍රමුඛයා, විශේෂයෙන්ම උපාධිධාරීන්ට රැකියා සැපයුමේ ප්‍රමුඛයා වන්නේ රජය හෝ රජයට අනුබද්ධ ආයතනයි.

එයට හේතු වශයෙන් දැක්විය හැක්කේ මෙරට ආර්ථිකයේ වැඩි ප්‍රතිශතයක් එනම් ප්‍රාග්ධන ආයෝජනවලින් වැඩි ප්‍රතිශතයක් රජය සතුව පැවතීමයි. ඒ අනුව මෙරට ආර්ථික ක්‍රියාවලියේ මර්මස්ථානද ඇතුලුව ප්‍රමුඛ වශයෙන් හසුරවනු ලබන්නේ රජයයි. රටේ ආර්ථික ක්‍රියාවලියේ වැඩි ප්‍රතිශතය එනම් ප්‍රාග්ධනයේ වැඩි ප්‍රතිශතයක් ඉතා අකාර්යක්ෂම ලෙස කළමනාකරනය වීම හරහා ආර්ථිකයේ ප්‍රසාරනය ඉතා මන්දගාමී බවට පත්ව ඇති බැවින් ජනගහන වර්ධනයත් අනුව සිදුවිය යුතු රැකියා අවස්ථා ප්‍රසාරණය ද ඉතා මන්දගාමී බවට පත්ව ඇත. අවාසනාවන්ත තත්වය වන්නේ ආර්ථික වර්ධනය සඳහා අවශ්‍ය ප්‍රාග්ධන සැපයුම ලබාදීමට රජයට හෝ දේශීය පුද්ගලික ව්‍යවසායකයාට හැකියාවක් නොමැතිකම සහ ඒ සඳහා විදේශ ප්‍රාග්ධන ආයෝජන ලබාගැනීමට ජනතාව අකැමැති වීමත්ය.

පවතින තත්වයන් යටතේ මෙරට දරු පරපුරේ බහුතරයකට සිදුවන්නේ උසස් අධ්‍යපනයෙන් පසු රැකියා නොමැතිවූවන්ගේ සංගමයට එක්වීමට හෝ කෙසේ හෝ රට හැර යාමයි.

මේ අතර ඉංග්‍රීසි භාෂා මාධ්‍යය භවිතා කරමින් අධ්‍යාපනය ව්‍යපාරයක් ලෙස දියුණු කළ රටවල් විදේශ ශිෂ්‍යයන්ට තම රටේ විශ්වවිද්‍යාලවල දොර විවෘත කර ඇති අතර එමඟින් විශාල විදේශ විනිමය ප්‍රමාණයක් ඒ ඒ රටවලට ආකර්ෂනය කර ගනිමින් සිටිති. අමතර වශයෙන් බොහෝ උගතුන් හට තම රට තුළ සිට සේවය කිරීමට අවස්ථාව ද හිමිකරදී ඇති අතර මේ හරහා බුද්ධි ගලනය අඩුකරගැනීමට ද අධ්‍යාපන ආයතන සඳහා අමතර සේවා සැපයීම මඟින් දේශීය ආර්ථිකයට දායකත්වයක් සැපයීමට ද මෙම ක්‍රමය සමත්ව ඇත.

අධිරාජ්‍යවාදීන්ගෙන් මෙරට ජනතාවට උරුම වූ උසස් ඉංග්‍රීසි භාෂා සාක්ෂරතාවය භාවිතකර අපට ගොඩනැඟීමට හැකිව තිබූ මෙම අධ්‍යාපන ව්‍යාපාරය අද වනවිට අප අසල්වාසීන් විසින් අත්කරගෙන භුක්තිවිඳිනු උකටලීව බලා සිටීමට මෙරට ජනතාවට සිදුවී ඇත.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.